26 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

ඩයනා සජබයට එරෙහිව අධිකරණයට

Must read

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමිකිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.

මෙම පෙත්සම අද (02) ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙංගප්පූලි යන මහත් මහත්මින් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ අදාළ පෙත්සම ජුනි මස 8 වනදා විභාගයට ගන්නා බවය.

පෙත්සම්කාර ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිවරිය සඳහන් කර සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධනයට සහාය පළකළේ යැයි චෝදනා කරමින් වගඋත්තරකරුවන් තමන්ව මන්ත්‍රි ධුරයෙන් නෙරපීමට කටයුතුකර ඇති බවය.

එම තීරණයට එළඹීමට පෙර වගඋත්තරකරුවන් කිසිදු සාධාරණ විනය පරීක්ෂණයක් ලබාදීමට කටයුතු නොකළ බව පෙන්වාදෙන රාජ්‍ය ඇමතිවරිය මේ තුළින් ස්වභාවික යුක්ති ධර්මය නැමැති නීතිමය මූලධර්මය උල්ලංඝනය වී ඇති බවත් පෙන්වා දී තිබුණි.

ඒ අනුව සිය මන්ත්‍රී ධුරය අහිමිකිරීමට වගඋත්තරකරුවන් ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි යැයි තීන්දු කොට එය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් සිය පෙත්සමෙන් ඇය වැඩිදුරටත් ඉල්ලා සිටියාය.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්  පිරිසක් නම් කර තිබේ.

More articles

Latest article