28 C
Colombo
බ්‍රහස්පතින්දා, අගෝස්තු 18, 2022

සර්ව පාක්ෂික බැරි නම් බහු පක්ෂ සහිත ආණ්ඩුවක් හදා හෝ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සොයන්න – අස්ගිරි පාර්ශ්වයේ අනුනායක නාහිමි

Must read

සියලු පක්ෂවල එකතුවෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි කර ගැනීමට නොහැකි නම් බහු පක්ෂ සහිත ආණ්ඩුවක් හෝ ස්ථාපිත කර රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට පියවර ගත යුතුව ඇතැයි අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සී නාහිමියෝ පවසති.

උන් වහන්සේ මේ බව පැවැසුවේ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පසුගියදා (30) අස්ගිරි මහා විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහානාහිමියන් ප්‍රමුඛ විංසත් වාර්ගික කාරක සංඝ සභාවේ හිමිවරුන් කිහිපනමක් බැහැදුටු අවස්ථාවේදීය.

එම අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරංපනාවේ ආනන්ද, මුතියංගණ රාජමහා විහාරයේ භාරකාර කාරක සංඝ සභික මුරුද්දෙණියේ ධම්මරතන හිමිවරු ද සහභාගි වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අස්ගිරි පාර්ශ්වයේ අනුනාහිමියෝ මෙසේ ද කීහ.

“ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී පක්ෂ සහ පිල් වශයෙන් බෙදුණු බවක් පැහැදිලිව පෙනෙන්න තිබුණා. ඒවා එම අවස්ථාවට පමණක් සීමා කර පසුව කවුරුත් එකට එකතුවී වැඩ කරන්නේ නම් ඉතා හොඳයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල මන්ත්‍රීවරුන් 100%ක් එකතු කරගෙන ආණ්ඩු කරන තත්ත්වයක් ගැන සිතීමට නොහැකියි. හිටපු ජනාධිපතිවරයා ද ඒ සඳහා කළ උත්සාහය සාර්ථක වුණේ නෑ.

“පක්ෂ සහ පිල් වශයෙන් බෙදී තම තමන්ගේ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට යොමු වීමට වඩා මේ අවස්ථාවේ වැදගත් වන්නේ රටේ ආර්ථික ගැටලුවට විසඳුම් සෙවීමට සැවොම එකට එකතු වීමයි. ඒ සඳහා ප්‍රධාන පක්ෂවල පමණක් නොව සුළු පක්ෂවල සහාය ද ගැනීම වැදගත්.

“මේ අවස්ථාවේ සියලු දෙනා එකතු කර සර්ව පාක්ෂික ආණ්ඩුවක් සකස් කර ගැනීමට නොහැකි නම් බහු පක්ෂ සහිත ආණ්ඩුවක් කරා යනවා හැර වෙනත් විසඳුමක් නෑ. වර්තමානයේ තිබෙන අර්බුද අතරින් ප්‍රධාන වන්නේ ආර්ථික අර්බුදය. අනෙක් සියලු අර්බුද පැන නැඟුණේ ඒ ඔස්සේ. දරිද්‍රතාව නිසා එදිනෙදා ජීවිතය ගෙන යෑමට පවා නොහැකිව ජනතාව අසරණවී සිටිනවා. දේශපාලන වශයෙන් තනතුරු, පුටු, පුද්ගලයන් කියන කාරණාවලට වඩා ආර්ථික ගැටලුව කෙරෙහි ප්‍රමුඛතාව දිය යුතුයි. ඇඟලුම් කර්මාන්තයේ කිසියම් වර්ධනයක් ඇතිව තිබෙන බව දැන ගන්න ලැබීම සතුටට කරුණක්. පොදු දේපොළ සහ පෞද්ගලික දේපොළ විනාශ කිරීම ශිෂ්ට සම්පන්න ලෝකයේ කිසිවකුත් අනුමත කරන්නේ නෑ. ව්‍යවස්ථා සංශෝධනයට වඩා මේ අවස්ථාවේ ප්‍රමුඛස්ථානය දිය යුත්තේ ජනතාවගේ ජීවන බර අඩු කිරීමටයි.”

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා

“රට ඉතා බරපතළ ආර්ථික, සමාජීය සහ දේශපාලන වශයෙන් අර්බුද ගණනාවකට පසුගිය මාස ගණනාවක් පුරා මුහුණ දුන්නා. මේ ප්‍රශ්නවලට රජය යම් ආකාරයක විසඳුම් ඉදිරිපත් කරමින් සිටිනවා. විදුලිය, ගෑස්, ඉන්ධන නොමැති වීමත්, ජීවන වියදම ඉහළ යෑමත් නිසා සමාජයේ යම් කැලඹීමක් ඇති වූණා. එය පසුව දේශපාලන අර්බුදයක් දක්වා ගමන් ගත්තා.

“ජනාධිපතිවරයා තනතුරෙන් ඉවත් වූ පසු පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නව ජනාධිපතිවරයකු පත් කර ගත්තා. මෙවැනි අර්බුදකාරී අවස්ථාවක සියලු පක්ෂ එකට එකතුවී වැඩ කරන්නේ කෙසේද යන්න සම්බන්ධව දැන් පුළුල් සාකච්ඡාවක් නිර්මාණයවී තිබෙනවා. සෑම පක්ෂයකටම වෙනම මතයක් තිබෙනවා. නමුත් මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා අනුශාසනා කළ පරිදි සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩ නැඟීමට රජය පියවර ගනිමින් සිටිනවා. මාස දෙකකට පෙර පැවති තත්ත්වයට වඩා ජාත්‍යන්තරයේ සහාය ශ්‍රී ලංකා රජයට මේ වන විට ලැබෙමින් තිබෙනවා.”

අගමැතිවරයා මල්වතු මහා විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

More articles

Latest article