32 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

චීන පොහොර සමාගම අසාදු ලේඛනගත කරන්නැයි විගණකාධිපතිවරයා නිර්දේශ කරයි

Must read

කාබනික පොහොර ගනුදෙනුවට අදාළව ඇති කරගත් සමථය ප්‍රකාරව කටයුතු නොකිරීම හේතුවෙන් චීනයේ කින්ඩාඕ සීවින් බයෝටෙක් සමාගම ශ්‍රී ලංකාව තුළ අසාදු ලේඛනගත කරන්නැයි විගණකාධිපතිවරයා රජයට නිර්දේශ කර තිබේ.

කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96,000ක ප්‍රසම්පාදනය සම්බන්ධ විශේෂ විගණන වාර්තාව මඟින් මේ බව දක්වා ඇති අතර, අදාළ චීන සමාගමේ පොහොර සාම්පල ජීවානුහරණය කර නොමැති බව සහ අහිතකර බැක්ටීරියා අඩංගු බව ජාතික ශාක නිරෝධායන සේවයේ නීරක්ෂණයට ලක්ව ඇති බව ද දැක්වේ.

අදාළ සමාගම ප්‍රමිතිගත පොහොර ලබා නොදීම තුළ ඒ සඳහා ගෙවූ මුදල් අයකර ගැනීමේ හැකියාව අහිමිව ගොස් ඇති බවද විගණකාධිපති වාර්තාවේ සඳහන් වේ.

මේ තත්ත්වය තුළ පොහොර සඳහා ගෙවන ලද මුළු මුදලම රජයට පාඩුවක් වී තිබෙන බවට එම වාර්තා මඟින් පෙන්වාදෙයි. ඒ අනුව අදාළ සුරක්ෂණයන් කල් ඉකුත්වීමට පෙර අයකර ගැනීම හෝ ඒවායේ කාලය දීර්ඝ කර ගැනීමට කටයුතු නොකිරීම මෙන්ම අත්තිකාරම් ගෙවීමේ දී කිසිදු සුරක්ෂණයකින් තොරව මුදල් නිදහස් කිරීම හේතුවෙන් රජයට සිදුව තිබෙන පාඩුව මෙම ගනුදෙනුවට සම්බන්ධ වගකිව යුතු පාර්ශ්වයන්ට එරෙහිව නඩු පවරා අයකර ගැනීම ද විගණකාධිපතිවරයාගේ නිර්දේශ අතරට ඇතුළත් වෙයි.

චීනයේ කින්ඩාඕ සීවින් බයෝටෙක් සමාගමෙන් ආනයනය කරන ලද කාබනික පොහොර මෙට්‍රික් ටොන් 20,550ක තොගය සම්බන්ධයෙන් පසුගිය කාලයේ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය විය. අදාළ පොහොර තොගයේ අහිතකර බැක්ටීරියා අඩංගු බවට ශාක නිරෝධායන සේවය සිදු කළ පරීක්ෂණවල දී අනාවරණය වීම හේතුවෙන් මේ තත්ත්වය නිර්මාණය වී තිබේ.

කෙසේ වුවද අදාළ පොහොර නෞකාව යළි හරවා යැවීම හේතුවෙන් එම සමාගම ජාත්‍යන්තර වාණිජ මහාධිකරණයේ නඩු පැවරූ අතර එම සමාගමට ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7 ක වන්දියක් ගෙවා කොන්දේසි මත සමථයකට පත්වීමට ශ්‍රී ලංකා රජයට සිදුවිය. ඒ අනුව අපේක්ෂිත ප්‍රමිතියට අනුව ශ්‍රී ලංකාවට යළි පොහොර සැපයිය යුතු බවට අදාළ සමාගම වෙත කොන්දේසියක් පැනවුවද මේ දක්වා එම පොහොර තොගය ශ්‍රී ලංකාවට එවා නොමැත. සමථ කොන්දේසි ප්‍රකාරව ණයවර ලිපියේ හා කාර්ය සාධන බැඳුම්කරයේ කාලය දීර්ඝ කර එය වලංගුව තබාගත යුතු වූවත්, ඒවා මේ වසරේ මාර්තු 12 සහ මාර්තු 24 වැනි දා කල් ඉකුත්ව තිබේ.

More articles

Latest article