32 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 13, 2024

ආසියානු ශූරයින් දිවයිනට

Must read

ආසියානු ශූරතා හිමිකරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ.

06 වන වරටත් ආසියානු ශූරතාව හිමිකර ගත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම අද (13) අලුයම 12.50ට පමණ මලයාසියාවේ ක්වාලාලාම්පූර් නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.

එහිදී දැල්පන්දු කණ්ඩායම පිළිගනු ලැබුවේ ක්‍රීඩා හා තරුණ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා විසිනි.

මේ අතර 06 වන වරටත් ආසියානු ශූරතාව හිමිකර ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම 05ට පමණ දිවයිනට පැමිණියේය.

ඔවුන් පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සංවිධාන කර ඇති බව ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේය.

දිවයිනට පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් රථ පෙළපාලියකින් කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ වෙත කැඳවාගෙන ඒමට නියමිතව තිබේ.

එම රථ පෙළපාලිය අද පෙරවරු 06.30ට කටුනායක ගුවන් තොටුපොළෙන් ආරම්භ කර කොළඹ – මීගමුව මාර්ගයේ පෑලියගොඩ හන්දිය, මරදාන හන්දිය, ඩාලි පාර, යුනියන් පෙදෙස, ඇලෙක්සැන්ඩ්‍රා පාර ඔස්සේ නිදහස් මාවතට පැමිණීමට නියමිත අතර එම ස්ථානවලදී විශේෂ පිළිගැනීම් උත්සව සංවිධාන කර ඇති බව සඳහන්ය.

ජාත්‍යන්තර කීර්තියක් අත්පත් කරදුන් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කිරීමට ජාතික ධජ අතැතිව ගමන් මඟ දෙපසට එක්වන ලෙස සියලු ජනතාවට ආරාධනා කරයි.

එම රථ පෙළපාලිය කටුනායක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත සහ දැල්පන්දු සම්මේලන මූලස්ථානය වෙත පැමිණීමට නියමිතය.

More articles

Latest article