30 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

ආසියානු ක්‍රිකට් තරගාවලියෙන් ලද මිලියන ගණනක මුදල් රටේ අනෙක් ක්‍රීඩා දියුණුව වෙනුවෙන් ලබා දෙනවා – ශම්මි සිල්වා

Must read

ආසියානු ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලැබුණු මුදල් ශ්‍රී ලංකාවේ අනෙකුත් ක්‍රීඩා දියුණුව වෙනුවෙන් ලබාදීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා පවසයි. එමගින් ලෝකයේම අවධානය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම රටේ අනෙකුත් සියලු ක්‍රීඩා ජාත්‍යන්තර තලයේ ඔසවා තැබීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා විශ්වාසය පළ කළේය.

වසර 2ක් වැනි කෙටි කලක් තුල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරය අමෙරිකානු ඩොලර් මිලියන 40ක් දක්වා ඉහළට ගෙන ඒමට හැකිවූ බවත්, එය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කැපවීම හා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ අවංකත්වය මත ගොඩ නැගුණ විශාල ධනස්කන්ධයක් බවත් ක්‍රිකට් සභාපතිවරයා සඳහන් කළේය. එබැවින් බොරු අපවාද තුලින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට හා ක්‍රීඩකයන්ගේ මානසිකත්වයට පහර ගැසීමට යම් යම් අය උත්සාහ කිරීම ජනතාව හෙළා දැකිය යුතුව ඇතැයි ඒ මහතා පැවැසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා මේ බව පැවැසුවේ ආසියානු ක්‍රිකට් කුසලානය දිනා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානකගේ සහභාගීත්වයෙන් ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

“ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ උපරිම ස්ථාවර තැන්පතුවක් තිබී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක් වැනි මුදලක් පමණයි. අප අනවශ්‍ය වියදම් කපා දමා ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවශ්‍ය සියලු මුදල් ලබාදී ක්‍රිකට් ආයතනයේ මුදල් ආරක්ෂා කොට තිබෙනවා. බොරු වීරයන් වගේ පෙනී සිටිමින් ක්‍රිකට් සල්ලි විනාශ කළ අය මේවාට කැමැති නෑ“ සිල්වා මහතා පැවැසීය.

“ශ්‍රී ලංකාවේ ආසියා ක්‍රිකට් තරගාවලිය පැවැත් වූවානම් අපට ලැබෙන මුදලට වඩා වැඩි මුදලක් අපට ලැබී තිබෙනවා. අපේ රටේ ප්‍රශ්න තිබුණ නිසා ආසියානු ක්‍රිකට් ආයතනය තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නොහැකි බව සඳහන් කළා. අප නොයෙක් උත්සාහ ගත්තා තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට. නමුත් ආසියානු ක්‍රිකට් ආයතනය දිගින් දිගටම කිව්වේ රටේ ප්‍රශ්න නිසා ආසියා ක්‍රිකට් තරගාවලිය ඩුබායි වෙත ගෙන යන බව. අවසානයේ අපට ඒ අදහසට අකමැත්තෙන් හරි එකඟ වන්න වුණා“

“ 2011දී මිලියන 20.5ක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ජාත්‍යන්තරයෙන් ලැබුණා. ඒ වේලාවේ පරිපාලනයේ හිටියේ කවුද කියලා හොයලා බලන්න. ඒ වගේ විශාල මුදලක් ලැබිලා ටික දවසකින් ක්‍රීඩකයන්ට දීමනා දෙන්න බැරි තත්ත්වයක් උදා වුණා. ආයතනයේ පඩි ගෙවන්නත් බැරි තත්ත්වයක් ඇති වුණා. අයිසීසි එකෙන් ණය අරන් ශ්‍රී ලංකා ක්‍රිකට් දිව්වේ. රටේ විවිධ ප්‍රශ්න ආවත් අද ඒ වගේ තත්ත්වයක් නෑ. ක්‍රීඩකයෝ සතුටින් ක්‍රීඩා කරනවා. ක්‍රිකට් ඉහළට යනවා. ඒක බලා ඉන්න බැරි අය විවිධ බොරු කතා පතුරවනවා. අද පරිපාලනයත් ශක්තිමත්. ක්‍රිකට් ක්‍රීඩාවත් ශක්තිමත්“ ජනතාව බලාපොරොත්තු වන්නේ අපෙන් ඒ දේ පමණයි. ශම්මි සිල්වා මහතා පැවැසීය.

තරගයක් දෙකක් පැරදුනාම තමන් ඇතුළු කණ්ඩායමට විවේචන එල්ල නොකොට මඩ ප්‍රචාර සිදු නොකොට ඉවසීමෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක විශේෂ ඉල්ලීමක් කළේය. යම් පසු බැසීමක් සිදුවූ විට ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සියලු පාර්ශ්ව ක්‍රීඩකයන්ගේ මානසිකත්වය ගොඩ නැගෙන පරිදි කටයුතු කිරීම ඉතා වැදගත් බව ආසියා කුසලානය දිනාගත් ක්‍රිකට් නායකයා පැවැසීය.

“ අපේ රටේ ප්‍රේක්ෂකයෝ සියලු දෙනාගේ ආශිර්වාදය අපට වැදගත් වුණා. ඒ වගේම ඩුබායි ක්‍රීඩාංගණයට පැමිණි අය අපව දිරිමත් කළා. මේ සියල්ල ජයග්‍රහණයට දායක වූවා. අප මුලින්ම සැලසුම් කළේ සුපිරි 4 වටයට යන්නයි. ඊළඟ සැලසුම වුණේ අවසන් තරගයට යන්නයි. හැම ක්‍රීඩකයෙක්ම එකම තත්ත්වයක සිටින නිසා අපට පුළුවන් වුණා කුසලානය දිනා ගන්න. මීළඟ ඉලක්කය ලෝක කුසලාන තරගාවලියයි. ඒ සඳහා හොඳ සූදානමක් ඇති කරගන්න අපට පුළුවන්. අපේ මානසිකත්වය ජයග්‍රාහී එකක්“ දසුන් පැවැසීය. ආසියානු ක්‍රිකට් තරගාවලිය සංවිධානයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් ආයතනය හා ආසියානු ක්‍රිකට් කවුන්සිලය ලබාදුන් සහයෝගයට සිය ස්තූතිය පළ කරන බව මාධ්‍ය ඇමැතූ ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවැසීය. “ අප හිතුවාටත් වඩා මේ තරගාවලිය සාර්ථක වුණා. මාධ්‍ය හා ජනතාව හොඳ ප්‍රතිචාර දැක්වූවා. අප සියලු ක්‍රීඩකයන්ට අවශ්‍ය උපරිම පහසුකම් ලබාදීමට කැපවුණා. ඒ නිසා හොඳ විශ්වාසයක් මුල සිටම අප සතුව තිබුණා“ සිල්වා මහතා පැවැසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා ද මාධ්‍ය හමුවට එක්ව සිටියේය.

More articles

Latest article