25 C
Colombo
සඳුදා, මැයි 20, 2024

ආසියානු සංවර්ධන බැංකුවෙන් සංවර්ධන ව්‍යාපෘති 24කට ඩොලර් මිලියන 900ක ණයක්

Must read

මහාමාර්ග, ජලසම්පාදන, විදුලි බලය සහ සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක සංවර්ධන ව්‍යාපෘති 24ක් මේ වසර තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ණය පහසුකම් 50ක් ආසියානු සංවර්ධන බැංකුව පිරිනමා ඇත.

අමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 900ක වටිනාකමකින් යුතු මෙම ණය පහසුකම්වලින් දැනට පවතින කොවිඩ් අභියෝගය හමුවේ මේ වසර නිමා වන විට අඩුම තරමේ ඩොලර් මිලියන 700ක 800ක මුදලක් වැය කරමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වනු ඇතැයි මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කරයි.

වසර 1966දී ආරම්භ කරනු ලැබූ ආසියානු සංවර්ධන බැංකුවේ 55 වෙනි වාර්ෂික සම්මේලනය ලබන වසරේ මැයි මස 2 වැනිදා සිට 5 වැනිදා දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතය. එවැනි ජාත්‍යන්තර සමුළුවක් මුළු දෙන අවස්ථාවේ මෙරට සමාජ ආර්ථික සංවර්ධනයට ඉමහත් පිටුබලයක් ඒ ඔස්සේ ලබාගැනීමට ශ්‍රී ලංකා රජය සූදානම් බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙරටට සංවර්ධනය සඳහා මුදල් පහසුකම් සපයන සංවර්ධන පාර්ශ්වකරුවන් අතරින් ඉහළම මුදල ගිය වසරේදී ද (2020) මෙරටට ලබාදී ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුව බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. එක්සත් ජනපද ඩොලර් මිලියන 568ක මුදලක් ගිය වසරේ ආසියානු සංවර්ධන බැංකුව මෙරටට ලබාදී ඇති අතර ලෝක බැංකුව ඩොලර් මිලියන 218ක්, යුරෝපා සංගමය ඩොලර් මිලියන 44ක්, ජර්මනිය ඩොලර් මිලියන 2.5ක් සහ ජපානය ඩොලර් මිලියන 9.5ක් සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය ඩොලර් මිලියන 0.7ක් ලෙස ගිය වසරේ එකඟතා මත අරමුදල් සපයා ඇතැයි ද මුදල් අමාත්‍යාංශය කියයි.

ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට දැඩිව ඉවහල් වන ග්‍රාමීය මාර්ග හා නාගරික මාර්ග පද්ධතිය ඒකාබද්ධ කිරීම සඳහා කාපට් අතුරා මාර්ග පුළුල් කිරීම, පිරිසිදු පානීය ජලය ජනතාවට ලබාදීමට ක්‍රියාත්මක ජල යෝජනා ක්‍රම සඳහා, ග්‍රාමීය විදුලි බල අවශ්‍යතාවය සපුරාලීමට අඩු වියදම් විදුලි උත්පාදන ක්‍රම සඳහා සෞඛ්‍ය, අධ්‍යාපන, තොරතුරු තාක්ෂණය සහ සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාර අංශ දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් ලැබී තිබෙන බවද මුදල් අමාත්‍යාංශය පවසයි.

More articles

Latest article