26 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

ආවේගශීලි දේශපාලන භික්ෂු හැසිරීම් මහනාහිමිවරුන් හෙළා දකිනවා – මල්වතු ලේඛකාධිකාරි පහමුණේ සුමංගල නාහිමි

Must read

ආවේගශීලිව මහාමාර්ග අවහිර කරමින් ජන ජීවිතයට බාධා පමුණුවමින් පෞද්ගලික දේශපාලන මත පිහිටා කටයුතු කරන භික්ෂු භූමිකාවට නොගැළපෙන අවස්ථාවාදී ළාමක හැසිරීම් මහානායක හිමිපාණන් වහන්සේලා තරයේ ප්‍රතික්ෂේප කරන බව මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරි, සෝමාවතිය රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ සුමංගල නාහිමියෝ පවසති.

මල්වතු අස්ගිරි උභය මහා විහාර පාර්ශ්වයන් හි ශ්‍රීමත් මහානායක හිමිපාණන් වහන්සේලා පිළිබඳව තැන්නේ ඥානානන්ද නම් භික්ෂුවක විසින් සිදු කරන ලද සාවද්‍ය පදනම් විරහිත ද්වේශසහගත පටු දේශපාලන අරමුණු පෙරදැරි කරගත් චෝදනා ප්‍රතිකේෂ්ප කරන බවද මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමිවරු ප්‍රමුඛ විංසත්වර්ගික කාරක සංඝ සභාව වෙනුවෙන් අදහස් දක්වමින් උන්වහන්සේ කීහ.

මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන් සහ මහා ලේඛකාධිකාරි පහමුණේ සුමංගල හිමියන් ඇතුළු කාරක සංඝ සභාව නියෝජනය කරන මහා සංඝරත්නය මල්වතු මහා විහාරයේදී පෙරේදා (24) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මේ බව අවධාරණය කළහ.

එහිදී මාධ්‍ය වෙත ලිපියක් ඉදිරිපත් කරමින් එහි ඇති කරුණු විග්‍රහ කළ සුමංගල නාහිමියෝ මෙසේද කීහ.

ශාසන භාරකාරීත්වය උසුලන ශ්‍රීමත් මාහිමිපාණන් වහන්සේලා රට තුළ උද්ගතවන සෑම අර්බුදයකදී මෙන්ම විපතකදීම සබුද්ධිමත්ව රටේ මහජනතාවගේ යහපත වෙනුවෙන් සහ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කටයුතු කර තිබේ. රටේ සංවර්ධනයට අවශ්‍ය ජාතික ප්‍රතිපත්ති සකස් කොට මහජන සුභසාධනය උදෙසා කටයුතු නොකරන දේශපාලකයින්ට තමන් වහන්සේ හමුවීම ප්‍රතිකේෂ්ප කිරීමට පවා මහානායක හිමිපාණන් වහන්සේ පසුගිය කාලවකවානුව තුළ කටයුතු කළ බව රටම දන්නා කරුණකි.

කිසිදු දේශපාලන මතවාදයකට නතු නොවී මහජන සුභසිද්ධිය හා රටේ සංවර්ධනය මත පමණක් අවධානය යොමු කරමින් මහානායක මාහිමිපාණන් වහන්සේ සිදු කළ සෘජු අනුශාසනා පිළිබඳ පසුගිය කාලවකවානුව පුරාවට පළවූ මාධ්‍ය වාර්තා බොහෝය. ආර්ථික අර්බුදය විසඳා සමාජ ස්ථාවරත්වය යළි ඇති කිරීමට දේශපාලන මතවාද ප‍ෙසකලා ජාතික ප්‍රතිපත්තියක් මත පිහිටා කටයුතු කරන ලෙසත් අර්ථික අර්බුදයේ ගැඹුර පිළිබඳ නිසි අවබෝධයකින් යුත් විශේෂඥ මණ්ඩලයක නියාමනය මත රටේ ආර්ථික ප්‍රතිපත්ති සකස් කිරීම ස්වාධීන කමිටු මඟින් කළ යුතු බවටත් එම සමස්ත ක්‍රියාවලිය නිරන්තර විගණනයට ලක් විය යුතු බවටත් මහානායක හිමිපාණන් වහන්සේලා රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයින්ට අනුශාසනා කළහ.

රට තුළ විවිධ ස්වාභාවික ආපදා ඇති වූ සෑම අවස්ථාවකදීම අසරණ වූ මහජනතාවගේ සුබසිද්ධිය උදෙසා කරුණාධ්‍යාශයෙන් යුක්තව ශ්‍රීමත් මහානායක හිමිපාණන් වහන්සේලා කටයුතු කර ඇත.

ශාසන භාරකාරත්වය දරන මහානායක හිමිපාණන් වහන්සේලා මත පැවරෙන ශාසනික වගකීම් සමුදාය විශාලය. බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ දී නොයෙක් ආර්ථික දේශපාලනික හා සමාජීය අර්බුද උද්ගත වූ විට රාජ්‍ය පාලකයින් වෙත එකී අර්බුද නිරාකරණය කර ගැනීමෙහිලා අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ආකාරය ශාසන ඉතිහාසය තුළ විස්තර වේ.

මෙකී කිසිදු කරුණක් පිළිබඳව අවබෝධයක් නොමැතිව පටු දේශපාලන අරමුණු පෙරදැරිව විදේශීය අදිසි කුමන්ත්‍රණකාරී බළල් හස්තයක් වෙමින් මුදල් ඉපයීමට බුද්ධ චීවරය අවභාවිත කරමින් ශ්‍රමණ ප්‍රතිරූපක වේශධාරීව ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ උතුම් ජාතික ආගමික හා ශාසනික සේවය අවතක්සේරුවට ලක් කරමින් සිදු කරන මුග්ධ ප්‍රකාශයන් තරයේ හෙළා දකින්නෙමු. ශාසනික ප්‍රතිපදාවන් පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැති බුද්ධ චීවරයේ ගෞරවය කෙලෙසන මෙවැනි අඥාන අවිචාරවත් පුද්ගලයින් සම්බන්ධයෙන් ජනමාධ්‍ය හා මහජනතාව බුද්ධියෙන් කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවකි.

More articles

Latest article