28.6 C
Colombo
සිකුරාදා, මැයි 24, 2024

චීන පොහොර සාම්පල තුන්වැනි පාර්ශ්වයකින් පරීක්ෂා කරන එකඟතාවක් නෑ – කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්

Must read

චීන කාබනික පොහොර තොගයේ සාම්පල තුන්වැනි පාර්ශ්වයක මැදිහත්වීමෙන් පරීක්ෂා කිරීමට මේ දක්වා එකඟතාවකට එළඹී නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත්.කේ.ජයසිංහ මහතා පැවසුවේය.

චීන කාබනික පොහොර තොගයේ ප්‍රමිතිය තුන්වැනි පාර්ශ්වයක මැදිහත්වීමෙන් පරීක්ෂා කිරීමට චීන පොහොර සමාගම සහ ශ්‍රී ලංකා බලධාරීන් එකඟතාවකට එළඹ තිබෙන බවට චීන තානාපතිවරයා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ලේකම්වරයා මෙම අදහස් පළ කළේය.

මතභේදයට තුඩු දුන් චීන නෞකාවේ කාබනික පොහොර තොගය සඳහා කිසිදු ගෙවීමක් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම් නැතැයි ද හෙතෙම කීවේය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව චීන නෞකාවෙන් පොහොර ලබා ගැනීමක් සිදු නොකළ බැවින් පොහොර සඳහා මුදල් ගෙවීමක් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද කෘෂිකර්ම ලේකම්වරයා අවධාරණය කළේය.

ක්වීන්ඩාඕ සීවින් බයෝටෙක් සමාගමේ අධ්‍යක්ෂවරයා විසින් පසුගිය දා ඇමරිකානු ඩොලර් මිලියන 41.6ක මුදලක් අලාභ ලෙස ගෙවන්නේ නම් කාබනික පොහොර තොගය රැගත් නෞකාව හරවාගෙන යාමට සූදානම් බවටත්, ඊට අදාළ කොන්දේසි පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යාංශයට ලිපියක් මඟින් දැනුම් දුන් බවටත් කියා සිටියද කෘෂිකර්ම ලේකම්වරයා ලෙස තමන්ට කිසිදු ලිඛිත දැනුම් දීමක් මෙතෙක් සිදු කර නැති බවද හෙතෙම කීය.

සමාගම ඉදිරිපත් කරන කාරණා කෘෂිකර්ම අමාත්‍යාංශයට හෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අදාළ නොවන බවද කෘෂිකර්ම ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කළේය.

More articles

Latest article