31 C
Colombo
අඟහරුවාදා, මාර්තු 26, 2024

කොළඹ වරාය නගරය චීන කොලනියක් වෙනවා කියා පනතේ කොහෙවත් කියා නැහැ – රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්

Must read

කිසිදු බියක්, සැකයකින් තොරව ඕනෑම රටක ආයෝජකයෙකුට කොළඹ වරාය නගරයේ ආයෝජනය කිරීමට අවස්ථාව විවර කර ඇති බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.

රජය සෑම රටක් සමගම ඉතා සහයෝගයෙන් කටයුතු කරන බවත් එක් රටකට පමණක් සීමා වී නොමැති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සයිබර් කොන්ෆරන්ස් හමුවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රට සහ ජනතාවගේ වගකීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය භාරගෙන ඇතැයි සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා, ණය වශයෙන් නොව ආයෝජන වශයෙන් රටට විදේශ මුදල් ගලා ඒමේ ක්‍රම සකස් කරන බවට රජය පොරොන්දු වූ බවත් , පෝට් සිටි වැනි නව ව්‍යාපෘති හරහා නව ආයෝජකයින් මෙරටට ගෙනැවිත් නව රැකියා බිහි කිරීම එහි එක් පියවරයක් බව සඳහන් කළේය.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පිළිබඳ පනත් කෙටුම්පත මුළුමනින්ම රටේ නීතියට අනුගත වේ. මෙරටට විදේශ විනිමයගෙන ඒමේ හැරවුම් ලක්ෂයක් බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. පනත් කෙටුම්පතට අදාළ සියලු කටයුතු මෙරට නීතියට අනුකූලව සිදු වේ. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සභාපතිවරයෙකු ඇතුළු සාමාජිකයන් 05 දෙනෙකුගෙන් සමන්විත වේ.

වරාය නගරයේ ආයෝජකයන්ගෙන් ආදායම් බදු අය කිරීමක් සිදු නොවන බව පැහැදිළි කළ අමාත්‍යවරයා, ඔවුන් සිංගප්පූරුව හෝ ඩුබායි රටවලට නොගොස් මෙරටට ආයෝජනය සඳහා පැමිණෙන්නේ එසේ කළහොත් පමණක් බවද කීය.

වරාය නගරය තුළ ඩොලර් වලින් මෙන්ම රුපියල් වලින්ද කටයුතු කළ හැකි බවත් ආයෝජකයින්ට මෙරටට පැමිණ පහසුවෙන් කටයුතු කළ හැක්කේ අප මෙම තත්වය ඇති කළහොත් පමණක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. තවද දේශීය බැංකු පෝට් සිටි තුළ පිහිටුවීමට කොමිෂන් සභා අවසරය ලබා ගත යුතු බවත් මහ බැංකුව සමග සාකච්ඡා කර ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකි අතර කොමිෂන් සභාව හරහා මෙම සියළු කටයුතු සිදු වන බව රාජ්‍ය අමාත්‍යවරයා පැහැදිළි කළේය.

මෙම සයිබර් කොන්ෆරනස් හමුවට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද එක්ව සිටියහ.

More articles

Latest article