පාකිස්තාන යුද්ධ හමුදාධිපති ජෙනරල් ජාවඩ් බජ්වාගේ ආරාධනයකට අනුව විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස පාකිස්තානු ජාතික දින සැමරුම මෙන්ම ජාතික ත්‍රිවිධ හමුදා උත්තමාචාර දිනය වෙනුවෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පසුගිය (19) දින පාකිස්තානය වෙත ලඟා වුවා. එරට සංචාරයේ නිරත ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ පාකිස්තාන ජනාධිපති ආචාර්ය අරිෆ් අල්වි අතර සුහද හමුවක් ද එරට ජනාධිපති මන්දිරයේදී පවත්වනු ලැබුවා.
ප්‍රථමයෙන්ම තමන් වෙත ආරාධනා කිරීම සබැඳිව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පාකිස්තානු ත්‍රිවිධ හමුදාවට සිය ස්තූතිය පළකල අතර ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් සිය සුභපැතුම් ද පුදකරනු ලැබුවා.
පකිස්තානයෙන් එරට ජාතික දිනය සඳහා විශේෂ ආරාධිතයෙකු ලෙස ආරාධනා ලැබූ ප්‍රථම හමුදා නිළධාරියා වන්නේ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වායි.
ලෝකයේ ත්‍රස්තවාදය මැඩපැවැත්වූ එකම රට ශ්‍රී ලංකාව බව පැවසූ පාකිස්තාන ජනාධිපතිවරයා පාකිස්තානය ද එවැනිම ආකාරයට කටයුතු කරන බව සඳහන් කර සිටියා. ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ගෙන එන චෝදනා වලට පාකිස්තානය එදා මෙන් අදත් විරුද්ධව කටයුතු කරන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.
පාකිස්තාන ජනාධිපති සමඟ අදහස් හුවමාරු කරගනිමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පාකිස්තානය සෑම අවස්ථාවකම ශ්‍රී ලාංකික මිතුරෙකු ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය එල්ල කරන අභූත චෝදනා වලට එරෙහිව කටයුතු කිරීම අතීතයේදී, වර්තමානයේදී මෙන්ම අනාගතයේදී ද අප විසින් සිහිපත් කරන බව පැවසීය.
පාකිස්තානු ජාතික දින ඒකාබද්ධ යුද පෙළපාලිය මාර්තු මස (23) දින පැවැත්වීමට නියමිතය. පාකිස්තානයේ අපේක්‍ෂාවන්, ජයග්‍රහණයන් නිරූපණය කරමින් පැවැත්වීමට නියමිත මෙම පෙළපාලියට පාකිස්තාන අගමැති, ජනාධිපති සමඟින් දේශිය හා විදේශිය රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් සහභාගී වීමට නියමිතය.