30 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

උප්පැන්න විවාහ මරණ සහතික පිටපත් සැමදාටම වලංගුයි – රෙජිස්ටර් ජනරාල්

Must read

රෙජිස්ටර් ජනරාල් විසින් නිකුත් කරනු ලබන උපත් විවාහ සහ මරණ ලේඛනවල වලංගු කාලය කිසිදු සීමාවකට ලක් නොකර පිළිගන්නා ලෙස රෙජිස්ටර් ජනරාල් පී.එස්.පී අබේවර්ධන මහතා සියලු නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

රෙජිස්ටාර් ජෙනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන උපත් විවාහ සහ මරණ ලේඛනයන්හි සහතික පිටපත්වල වලංගු කාලය පිළිබඳ ඇතැම් ආයතන විසින් සහතිකය නිකුත් කළ දින සිට මාස හයක කාලසීමාවක් සඳහා පමණක් වලංගු බව දැක්වීම නිසා සහතික පිටපත් ගැනීමට මහජනයා විශාල වශයෙන් පෙලඹවීමක් සිදු වී ඇති බව නිරීක්ෂණය වී ඇත.

ඒ අනුව රෙජිස්ටර් ජනරාල් විසින් ක්‍රියාත්මක කරනු ලබන සියලු පනත්හි ප්‍රතිපාදන අනුව රෙජිස්ටර් ජනරාල් විසින් නිකුත් කරනු ලබන සහතික පිටපතක වලංගු කාලය කිසිදු සීමාවකට ලක් නොකර පිළිගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යන අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු දැනුම්වත් කර තිබේ.

පවතින නීතිය අනුව උප්පැන්න සහතිකයේ මුල් පිටපත ඕනෑම කාල කාලසීමාවකට වලංගු වේ. නමුත් එය පැහැදිලි නැති නම් පරීක්ෂා කර බලා සහතික කරන ලද නව උප්පැන්න සහතික පිටපතක් ගැනීමේ අවස්ථාව තිබේ.

නමුත් පසුගිය කාලසීමාව තුළ ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන ගණනාවක් මාස හයක් ඇතුළත රෙජිස්ටර් ජෙනරාල්වරයා විසින් සහතික කරන ලද උප්පැන්න සහතික පිටපතක් අවශ්‍ය බවට ජනතාවට දැනුම් දීම නිසා උප්පැන්න සහතික නිකුත් කිරීමේ දැඩි තදබදයක් දක්නට ලැබිණි. නව තීරණයට අනුව කිසිදු රාජකාරි කටයුත්තකදී මාස හයක් ඇතුළත රෙජිස්ටර් ජනරාල්වරයා විසින් සහතික කරන ලද උප්පැන්න සහතිකයක් අවශ්‍ය නොවන අතර, ඕනෑම පුද්ගලයකු සතු උප්පැන්න සහතිකයේ මුල් පිටපතක් ඒ සඳහා වලංගු වේ.

More articles

Latest article