29 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

බිත්තර මාෆියාවට ඉඩ නොතබා මිලියන 22 ක් වූ පාරිභෝගිකයා ගැන සිතන්න – නිමල් ලාන්සා

Must read

හතර පස්දෙනෙකුගේ බිත්තර මාෆියාවට ඉඩ නොතබා මිලියන 22ක් වූ පාරිභෝගිකයා හා පොඩි ගොවියා ගැන සිතා කටයුතු කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ පසුගිය 19වැනිදා පාර්ලිමේන්තුවේ පැවති කෝප් කමිටු රැස්වීමේදී අදහස් දක්වමිනි.

ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා,

“පාරිභෝගික කටයුතු අධිකාරිය පාරිභෝගිකයින් පිළිබද අවධානය යොමු කරමින් බිත්තරය සදහා පාලන මිලක් නියම කරනු ලැබුවා. නමුත් බිත්තර නිෂ්පාදකයින් එම මිල ප්‍රමාණවත් නොවන බව උසාවියට කීවා. සත්ව ආහාර නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් අහාර සුරක්ෂිතතා කමිටුව හමුවේ පවසා සිටියේ බිත්තරයක් නිෂ්පාදනය සදහා රුපියල් 58 ක මුදලක් වැයවන වන බවයි. එම වාර්තාව සැලකිල්ලට ගෙන අධිකරණය පාලන මිල අයින් කරන්න කීවා. සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරියගෙන් අහන්න ඕනේ මේ මිල ගණනය කළේ කොහොමද කියාළා. ඒ නිසා තමා මේ ප්‍රශ්නය අද මතුවෙලා තියෙන්නෙ.

බිත්තර මාෆියාව ඕනවට වඩා මිල වැඩි කරන නිසා පාරිභෝගික අධිකාරිය මේ රටේ මිලියන 22 ක් ජනතාව ගැන හිතලා, ළමයින්ගෙ පෝෂණය ගැන හිතලා උපරිම සිල්ලර මිලක් නියම කරනවා. එහෙම නැතිනම් උපරිම සිල්ලර මිලක් නියම කරන්න අවශ්‍ය නැහැනෙ. එතකොට උපරිම සිල්ලර මිල නියම කරන්නේ සත්ව ආහාර නිෂ්පාදන දෙපාර්තුමේන්තුවෙනුත් අහලා.

උසාවියට ගියාට පස්සේ සත්ව ආහාර නිෂ්පාදන දෙපාර්තුමේන්තුව 2022 ජනවාරි 06 දින කමිටුවට කියන්නේ මොකක්ද ? මව් සතුන් ආනයනය කිරීමේ අදියරේ සිට වාණිජමය වශයෙන් බිත්තර නිෂ්පාදනය කිරීම සදහා වර්ෂයක පමණ කාලයක් යනවා කියලා. උපරිම මිල නියම කරපුවාම ඒ මිල මදි. මිල වැඩි කරන්න ඕනේ කිව්වම කාරණා ටික කියනවා. මව් සතුන් මෙච්චර කාලයක් යනවා ඒනිසා ඉස්සරහට මේක වැඩි කරන්න නැතිනම් කර්මාන්තය බිද වැටෙනවා කියලා.

2023.01.05 කමිටුවට අදහස්ය දක්වමින් කියනවා බිත්තර ආනයනය කරලා මිල අඩුවෙද්දි මව් සතුන් 31,000 ක් එනවා ඒ නිසා මිල අඩු කරන්න පුළුවන් කියන එක. 2022.12.06 කියනවා 2023 බඩ ඉරිගු අස්වැන්න මාර්තු මාසයේදී ලැබෙනවා කියලා කෘෂිකර්ම අමාත්‍යාංශය කියනවා. ඔයාලා එකග වෙනවා. 2023.01.05 කියනවා ජනවාරි අවසානයේ අස්වැන්න ලැබෙනවා කියලා. ඇයි ඒ. උපරිම මිල අයින් කරන්න ඕනවූනාම එකක් කියනවා. ආනයනය කරලා බිත්තර ගේන්න යනකොට තවත් එකක් කියනවා.

2022.12.06 පාලන මිල අයින් කරන්න ඕනවුනාම කියනවා මව් සිතුන් 85,000 ක් ආනයනය කිරීමට අවසර දුන්නත් 29,000 ක් ගෙනල්ලා තියෙනවා. ඒ නිසා බිත්තර නිෂ්පාදනය සියයට 43 ක් අඩුවෙනවා. ඊට පස්සේ 2023.01.05 කියනවා 2022 අවසන් කාර්තුවේ 31,000 ක් 2000 ක් වැඩිපුර තියෙන නිසා බිත්තර ආනයනය කරන්න ඕනේ නැහැ බිත්තර මේ අයට තියෙනවා කියලා.

විදේශ විනිමය වැය කරලා බිත්තර ගේන්න එපා කියලා කියනවා. විදේශ විනිමය වැය කරලා තමා මේ බඩ ඉරිගු, සෝයා, මව් සතුන් හැමදේම ගේන්නේ. ඔබතුමියලා වාර්තාවෙන් කියන්නේ පාසල් ආහාර වැඩසටහන සදහා බිත්තර ලැබෙනවලු. බිත්තර 40 ට ලැබුනේ නැහැනේ. මොකක්ද මේ කියන්නේ.

මිලියන 22 ක් පාරිභෝගිකයා ගැන බලන්න. හතර පස්දෙනෙක්ගේ බිත්තර මාෆියා එකට ඉඩ නොතබා පොඩි ගොවියා ගැන බලන්න. මිල පාලනය කළේ පොඩි ගොවියා ගැන හිතලනම් වැඩිපුර ලාභය තියෙන්නේ මහා පරිමාණ ව්‍යපාරිකයාටයි.

සත්ව නිෂ්පාදන දෙපාර්තුමේන්තුව උපරිම මිලක් දාලා පාරිභෝගිකයාට සහනයක් දෙනකොට විරුද්ධ වෙනවා කරුණු කියලා. ඒ වගේම ආනයන කරලා පාරිභෝගිකායට සහන දෙන්න යනකොට ඒකටත් විරුද්ධ වෙනවා.

කරවල කන්න බැහැ. මාළු කන්න බැහැ. මිළ ගණන් අධිකයි. ප්‍රෝටීන ගන්න පුළුවන් එකම දේ තමා බිත්තරය. සත්ව ආහාර නිෂ්පාදන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමිය කියනවා බිත්තර නැතිනම් කරවලයි, මාළුයි වලට යන්නලු. මේ වාර්තාවේ තියෙනවා. ඔබතුමියට තීරණය කරන්න බැහැ ළමයි මොනවද කන්නේ, ජනතාව මොනවද කන්නේ කියලා. ඒක ජනතාව තීන්දු කරයි. ජනතාවට අඩුවෙන් දෙන්න පුළුවන් එකක් දෙන්න. බිත්තර ආනයනය කරන්න කැබිනට් එක තීරණය කළාම කුරුලු උණ තියනවලු ඉන්දියාවේ.

රටේ අහිංසක දුප්පත් මිනිස්සු, මන්දපෝෂණයෙන් ඉන්න මිනිස්සු ගැන සලකා බලන්න ඕනේ. එක නිලධාරියකුට එක ආයතනයකට බැහැ මේක තීන්දු කරන්න. මේ පිළිබදව පරීක්ෂණයක් කරන්න, වාර්තාවන් සියල්ල අධ්‍යනය කරලා, විගනකාධිපති තුමගේ අවධානය යොමු කරලා හතර පස් දෙනකුට හම්බරකරගන්න දෙන්නේ නැතිව මේ පිළිබදව විධිමත්ව සොයලා බලන්න.

සත්ව ආහාර නිෂ්පාදන දෙපාර්තමේන්තුව බිත්තරයක් නිෂ්පාදනය කිරීමට යන මුදල රුපියල් 34 ක් කියලා අවසන් වාර්තාවේ කියලා තියෙනවා. ඒකට සිල්ලර, තොග සියල්ල වෙනුවෙන් රුපියල් 9 ක් එකතු කළත් නිෂ්පාදන පිරිවැය රුපියල් 43 යි යන්නේ. මම දන්න විදියට මේ අවස්ථාවේ බිත්තරයක් නිෂ්පාදනය කරන්නේ රුපියල් 34 ට නෙමේ රුපියල් 30 ට. පාරිභෝගික අධිකාරියට උසාවියෙන් කිසිම තහනමක් දාලා නැහැ බිත්තරයට උපරිම මිලක් නියම කරන්න. පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට නිතීපතිතුමත් එක්කත් කතා කරලා යම් වැඩපිළිවෙලක් කරන්න. බිත්තර නිෂ්පාදනය හිගනම්, අඩුකරන්නත් බැරිනම් බිත්තර ආනයන කරන්න කැබිනට් එක තීන්දුවක් අරන් තියෙනවා. ඒ සදහා අවස්ථාව දිය යුතුයි.

දින තුනක් ඇතුළත් මේ පිළිබදව පූර්ණ පරීක්ෂණයක් කරලා තීරණයක් ගන්න. නිලධාරි ගන්න තීරණ වලින් අපට ගෙවල් ගිනි තියාගන්නයි, ගුටි කන්නයි බැහැ. නිලධාරි වැරදි කරනවනම් මහජනතාවට රටට කියන්න ඕනේ.

කුරුලු උණ ගැන කියලා බිත්තර ආනයනය නවත්වන්න හදනවා. කෝටිපති ව්‍යාපාරකයින්, ලෝකප්‍රසිද්ධ ක්‍රීඩකයින් සහභාගිවුන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවති කටාර් රාජ්‍යයට බිත්තර ආනයනය කළේ ඉන්දියාවේ තමිල්නාඩුවෙන්. එතකොට කටාර් රාජ්‍යයට කුරුලු උණ ප්‍රශ්නයක් නැද්ද. මේවගේ විශාල තරගාවලියන් සංවිධානය කරනකොට ලෝකයේ තියෙන සියලු සෞඛ්‍ය නිර්නායකයන් ගැන අවධානය යොමු කරනවා. එතකොට කියනවා බිත්තර ගන්නේ කුරුලු උණ තියන රටවල්ලු. කුරුලු උණ තියන රටවල් ප්‍රදේශ ගැනවත් හරියට දන්නේ නැතිව කරුණු ඉදිරිපත් කරන්න එපා. කටාර් වල, ඕමාන් වල කුරුලු උණ තියනවද නැද්ද කියන්න දන්නේ නැතිව ඒ ගැන කියන්න එපා. ඒක ඒ රටවල් වලට කරන නිගාවක්. වගකීම් විරහිත ප්‍රකාශ කරන්න එපා.

උපරිම මිල අයින් කරගන්න ඕන වූනාම දෙනවා වාර්තාවක්, ආනයනය කරලා පාරිභෝගිකයාට අඩුවට දෙන්න හදනකොට දෙනවා තව වාර්තාවක්. මේ සියල්ල පරස්පරයි. ඒ නිසා මිලියන 22 පාරිභෝගිකයින් ආරක්ෂා කරන්න වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න යැයි” නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

More articles

Latest article