27.5 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

අනාගත දේශපාලනය වෙනුවෙන් අමෙරිකාවේ පුරවැසිභාවය ඉවත් කර ගන්න සූදානම් – බැසිල් රාජපක්ෂ

Must read

අමෙරිකා එක්සත් ජනපද පුරවැසිභාවය පමණක් නොව සිය අනාගත දේශපාලන කටයුතු වෙනුවෙන් පවතින සියලු බාධාවන් ඉවත්කර ගැනීමට සූදානම් බව හිටපු ඇමැති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පැවසිය.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

තවදුරටත් ඒ මහතා මෙසේද පැවසීය. මා සමත් ද අසමත් ද යන්න රටේ ජනතාව තීන්දු කළ යුතුයි. රටේ ජනතාවට හිරිහැරයක් නොවී මේ රටේ ආර්ථිකය හැසිරවීම සඳහා මාස කිහිපයක දී මා යම්කිසි උත්සාහයක් ගත්තා. රටේ ආර්ථිකය කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් දිනක් හෝ ප්‍රමාද නොවී ලැබුණු පළමු අවස්ථාවෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීමට ආණ්ඩුව තීරණය කළා. අපේ ආණ්ඩුව පැමිණෙන විටද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් මෙරට ක්‍රියාත්මක වුණා. එම වැඩසටහනින් ආණ්ඩුව ඉවත් වුණා. එහි කොන්දේසි ඉටුකළ නොහැකිවීම හේතුවෙන් මෙලෙස ඉවත් වුණා. සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලා පිරිසක් අරගලයක නිරත වූ නමුත් ඔවුන් බලාපොරොත්තු වූ සිස්ටම් චේන්ජ් එක කුමක් ද යන්න අරගලය ඉල්ලූ සහ කළ පිරිසගෙන් අසා දැනගත යුතුයි.

මේ අවස්ථාවේ මට විශාල වගකීමක් පැවරී තිබෙනවා. මේ රටේ ජනතාව අතරින් ලක්ෂ 69 ක පිරිසක් ඡන්දය ලබාදී පත්කළ ජනාධිපතිවරයා එළවා දමා තිබෙන අතර පරමාදර්ශී නායකයා පමණක් නොව එවකට ඇමැති මණ්ඩලයේ සිටි ඇමැතිවරු 11 දෙනෙක් ඉවත්ව, නිවාස 700 කට වැඩි ප්‍රමාණයක් ගිනිබත් කොට, ඡන්දයට එන්න නොහැකි තත්ත්වයක් නිර්මාණය කර තිබෙනවා. ඔවුන් අදහස් කළේ පොහොට්ටුව මින් ඉදිරියට ඡන්දයකට නොයනු ඇතැයි යනුවෙන්. එවැනි අවස්ථාවක පළාත් පාලන ආයතන 255 ක් සඳහා නාමයෝජනා භාර දී තිබෙනවා. අවස්ථාවක නිර්භයව ඉදිරිපත් වූ පිරිසක් පොහොට්ටුවේ පිරිස් අතරමං කිරීමට මා සූදානම් නෑ. මෙවැන්නක් කළ විට මට පෞද්ගලිකව විශාල අවාසියක් සිදු වෙනවා. දේශපාලනය කිරීමට මට ද්විත්ව පුරවැසිභාවය බාධාවක් වන්නේ නම් එය අත්හැරීමට සූදානම්.

අමෙරිකානු පුරවැසිභාවය පමණක් නොව නීතිමය බාධාවන් සියල්ල ඉවත්කර ගැනීමට සූදානම්. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වූ පසුව ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයකු තෝරා ගන්නට අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාවේ කාරණා දෙකක් පදනම් කරගෙන රනිල් වික්‍රමසිංහ මහතා තෝරා පත් කර ගත්තා.

මේ අතර එම කාරණා දෙකම රනිල් වික්‍රමසිංහ මහතා අද වනවිට ඉටුකර තිබෙනවා. ඒ මහතා හිංසාකාරී දේශපාලනය මේ රටින් තුරන් කිරීමට හැකි එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතායි. ගෑස්, ඉන්ධන පෝලිම් හා විදුලිය විසන්ධි වීම් ආදිය සඳහා විසඳුම් ලබාදීමට ඔහුට හැකිවී තිබෙනවා. අපේ තෝරා ගැනීම නිවැරැදි.

More articles

Latest article