25 C
Colombo
සඳුදා, මැයි 20, 2024

යහපාලන ආණ්ඩුව කටුනායක ගුවන්තොට පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ප්‍රමාද කිරීමෙන් කෝටි 1,105ක පාඩුවක්

Must read

කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය නියමිත කාලයේදී අවසන් කිරීමට යහපාලන ආණ්ඩුව අසමත් වීම හේතුවෙන් රුපියල් කෝටි 1,105ක පාඩුවක් විඳීමට රජයට සිදුව තිබේ.

නියමිත කාලය තුළ ව්‍යාපෘතිය අවසන් නොකිරීම නිසා සැලසුම් කළ පරිදි ගුවන් ගමන් පුළුල් කිරීමට නොහැකිවීම, ආදායම් ලැබීමට පෙර ණය මුදල් ගෙවීමට සිදුවීම, ගිවිසගත් සැලසුම් හිතුමතයට වෙනස් කිරීම යනාදි හේතු නිසා මේ පාඩුව සිදුව ඇති බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

2008 වර්ෂයේදී සැලසුම් අනුමත කරන ලද මේ සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂිංශෝ අබේ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් 2014 වර්ෂයේදී ආරම්භ කෙරිණි.

රුපියල් කෝටි 600ක ආයෝජනයක් වූ මේ ව්‍යාපෘතිය 2015 වසරේදී නිමා කිරීමට සැලසුම් කර තිබුණද පසුව බලයට පැමිණි යහපාලන ආණ්ඩුව දේශපාලන හේතු මුල්කොට ගනිමින් බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කළේය.

මුල් සැලසුමේ යෝජනා වී තිබූ ගොඩනැඟිල්ලේ වහලයේ නෙළුම් මලක හැඩය වෙනස් කොට ශාක පත්‍රයක හැඩය ගත් වහලයක් ඉදිකිරීමට එම ආණ්ඩුව තීරණය කිරීම නිසා පමණක් රුපියල් කෝටි 66.1ක අලාභයක් සිදුව ඇති බව රණතුංග මහතා පැවසීය.

පසුගිය ආණ්ඩුව සමයේ දිගින් දිගටම ප්‍රමාද කරමින් පැවති මේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් නැවත ආරම්භ කිරීමට පියවර ගැනුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ජනාධිපති ධුරයට පත් වීමෙන් අනතුරුව වන අතර, සංවර්ධන ව්‍යාපෘතියේ දෙවැනි අදියර සම්බන්ධයෙන් මතුව තිබූ ගැටලු නිරාකරණය කර ඉදිකිරීම් කඩිනම් කිරීමට පියවර ගත් බවද ඇමැතිවරයා සඳහන් කළේය.

කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ ශ්‍රී ලංකාවේ අනන්‍යතාව විදහා දැක්වෙන පරිදි සංවර්ධනය කිරීම මහින්ද චින්තනයේ මෙන්ම සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේද ප්‍රමුඛ ප්‍රතිපත්තියකි.

නව ව්‍යාපෘතියට ජපාන රජය ලබා දී ඇති ජපන් යෙන් මිලියන 334න් පළමු ණය මුදල ගෙවීමට දී ඇති කාලය වසර තිහක් වන අතර, එය ගෙවීම ලබන වසරේ සිට ආරම්භ කළ යුතුව තිබේ.

ගුවන්තොටුපොළ ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් කිරීමට පෙරම වත්මන් ආණ්ඩුවට මේ ණය මුදල ගෙවීම ආරම්භ කිරීමට සිදුව ඇත්තේ යහපාලන ආණ්ඩුවේ අදූරදර්ශි වැඩපිළිවෙළ හේතුවෙන් බව ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දුන්නේය.

More articles

Latest article