28.8 C
Colombo
ඉරිදා, මැයි 26, 2024

පළමු බැඳුම්කර නඩුව මහේන්ද්‍රන් නැතිව විභාගයට අවසර

Must read

දැනට සිංගප්පූරුවට පලාගොස් සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් හා අජහාන් ගාර්දිය පුංචිහේවා විත්තිකරුවන් නොමැතිව පළමු මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වන නඩුව විභාග කිරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඊයේ (3) අවසර දුන්නේය.

විත්තිකරුවන් උදර්පන නීතිය යටතේ මෙරටට ගෙන්වා ගැනීමට දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සාකච්ජා සිදු වන බවත් නමුත් නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට අවශ්‍ය බැවින් විත්තිකරුවන් නැතිව නඩු විභාගය ආරම්භ කිරීමට අවසර දෙන ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ කරුණු දැක්වීමෙන් අනතුරුව මේ අවසරය දුන්නේය.

මහාධිකරණ විනිසුරු චම්පා චානක රාජරත්න මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල මේ අවසරය දුන්නේය.

ශ්‍රී ලංකා රජය වසර දෙකහමාරක් තිස්සේ සිංගප්පූරු රජයෙන් ඉල්ලීම් කළ බවත්, අවසන් වතාවට කළ ඉල්ලීමට තවමත් ප්‍රතිචාර දක්වා නැති බවත් පැවසූ නාවාන මහතා එම ක්‍රියාවලියට අගති රහිතව මේ ඉල්ලීම කරන බවද සඳහන් කළේය.

යහපාලන ආණ්ඩුව සමයේ 2015 පෙබරවාරි 27 දා කළ පළමු මහ බැංකු බැඳුම්කර නිකුතුව මඟින් රජයට රුපියල් මිලියන 688කට අධික පාඩුවක් කිරීමට එරෙහිව නීතිපතිවරයා පැවරූ නඩුව කැඳවූ අවස්ථාවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එසේ පැවසීය.

නඩුවේ 10 වැනි විත්තිකරු වශයෙන් නම් කර සිටින අජහාන් ගාර්දිය පුංචිහේවා නමැත්තා මේ වන විට සිංගප්පූරුවෙන් පලාගොස් මැලේසියාවේ වාසය කරන බවට තොරතුරු ලැබී ඇති බවත් අධිකරණයේදී කරුණු අනාවරණය කෙරිණි.

විත්තිකරුවන් අධිකරණය මඟ හැර පලා ගොස් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙක් හා ආගමන විගමන පාලකවරයා වෙනුවෙන් සාක්ෂි ඉදිරිපත් කරමින් එම සාක්ෂිකරුවෝ පැවසූහ.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්මිණි ගිරිහාගම මහත්මිය එම සාක්ෂි මෙහෙය වීය.

2015 වසරේ පෙබරවාරි මස 27 දා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කළ මහ බැංකු බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් මිලියන 688කට අධික පාඩුවක් කළේ යැයි චෝදනා කරමින් පොදු දේපොළ පනත යටතේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, එම බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වන පත්තිනිගේ සමරසිරි, පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස් එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන ඇතුළු දස දෙනකු විත්තිකරුවන් කරමින් මේ නඩුව පවරා ඇත.

දෙවැනි හා තෙවැනි බැඳුම්කර සිද්ධීන්ට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති සෙසු අධිචෝදනා නඩු 2 මේ විත්තිකරුවන් දෙදෙනා නැතිව දැනටමත් කොළඹ මහාධිකරණය හමුවේ විභාග වෙමින් පවතී.

නඩුවේ වැඩි දුර විභාගය ජනවාරි 7 දිනට නියම කෙරිණි.

More articles

Latest article