27.3 C
Colombo
බදාදා, මැයි 22, 2024

උප්පැන්නයට ශ්‍රී ලංකාවේ අනන්‍යතා අංකය

Must read

උප්පැන්න සහතිකය නිකුත් කිරීමේදී එයට ශ්‍රී ලංකා අනන්‍යතා අංකය ඇතුළත් කිරීමට රජය තීරණය කර ඇත.

ශ්‍රී ලංකා අනන්‍යතා අංකය උප්පැන්න සහතිකයට ඇතුළත් කිරීමට අදාළ යෝජනාව ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

ඒ අනුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතිය හරහා මාර්ගගතව ශ්‍රී ලංකා අනන්‍යතා අංකය රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වෙත නිකුත් කිරීමටත්, එම අංකය ඇතුළත් කරමින් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව අදාළ පුද්ගලයාගේ උප්පැන්න සහතිකය නිකුත් කිරීමටත් නියමිතය. සෑම ශ්‍රී ලාංකික පුරවැසියකු සඳහාම ශ්‍රී ලංකා අනන්‍යතා අංකය නිකුත් කිරීම සඳහා 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික් ගනුදෙනු පනතේ විධිවිධාන පරිදි නිකුත් කර ඇති 2019 අංක 1 දරන ඉලෙක්ට්‍රොනික් ගනුදෙනු (ශ්‍රී ලංකා අනන්‍යතා අංක) නියෝග යටතේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත බලය පැවරී ඇත. එකම අනන්‍යතා අංකයක් භාවිත කිරීමෙන්, සිය උපතේ සිට මරණය දක්වා කරන ක්‍රියාකාරකම්වලදී සහ රාජ්‍ය හා පෞද්ගලික අංශයෙන් සේවාවන් ලබා ගැනීමේදී එම කටයුතු පහසුවෙන් හා කාර්යක්ෂමව ඉටු කර ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේදී අවස්ථාව ලැබෙනු ඇතැයි ඊයේ (7) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වූ වැවිලි ඇමැති, සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

‘ශ්‍රී ලංකාවේ උපදින ඕනෑම දරුවකු උපතේදී ලියාපදිංචි කර එම දරුවාට ජාතික උප්පැන්න සහතිකය නිකුත් කිරීමේ බලය උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ පනත අනුව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වෙත පැවරී තිබෙනවා.’

More articles

Latest article