27.9 C
Colombo
සඳුදා, මැයි 27, 2024

ලෝක අර්බුදයට මුහුණ දීමට සෑම රටක්ම අත්වැල් බැඳ ගත යුතුයි – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

Must read

ලෝක ආර්ථික අර්බුදයට සාර්ථකව මුහුණ දීමේ වැඩපිළිවෙළ සඳහා සියලු රටවල් අත්වැල් බැඳ ගත යුතු බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඉන්දීය රජය සංවිධාන කරනු ලැබූ CII Partnership Summit 2021 සමුළුව සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සම්බන්ධ වෙමිනි.

එහිදී වැඩි දුරටත් සිය අදහස් දැක්වූ ඇමැතිවරයා ප්‍රකාශ කළේ මේ වන විට සමස්ත ලෝකයටම බලපා ඇති ආර්ථික අර්බුදය තුළ සාමූහික ප්‍රයත්නයක් දැරීම තුළින් සෑම රටකටම පාහේ සිය අරමුණු කරා ගමන් කළ හැකි වාතාවරණයක් සැකසෙනු ඇති බවයි. එමෙන්ම සමස්ත ලෝකයේම ආර්ථික ගොඩනැංවීම උදෙසා සාමූහික ක්‍රියාමාර්ගවලට එළඹෙන තෙක් රට රටවල් විසින් සිය උපරිම ශක්‍යතාවයෙන් යුතුව කටයුතු කරමින් මේ සඳහා විසඳුම් ලබා ගැනීමට උනන්දු විය යුතු ආකාරය ද ඇමැතිවරයා මෙහිදී පෙන්වා දෙන ලදි.

වැඩි දුර අදහස් දැක්වූ ඇමැතිවරයා සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ වර්තමාන ආණ්ඩුව විසින් මේ වන විටත් ‘පුද්ගල ආරක්ෂාව තුළින් සැමගේ ආරක්ෂාව‘ තහවුරු කිරීමට සමත්ව ඇති බවයි. ඒ අනුව අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයක්ම ගනිමින් දැනට මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය සඳහා දීර්ඝ කාලීනව යහපත් ප්‍රතිඵල දෙන්නා වූ කඩිනම් හා වේගවත් ආර්ථික වර්ධන ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම රටට ගලාගෙන පැමිණි විදේශ විනිමය ප්‍රමාණය, ලෝක ආර්ථික අර්බුදය හමුවේ බරපතළ අපගමනයකට ලක් වූ බව ප්‍රකාශ කළ ඇමැතිවරයා කෙසේ නමුත් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින් මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කරමින් මේ සමස්ත රටේම ආර්ථිකය නැවත නඟා සිටු වීමට හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගනු ලබන බව ද ප්‍රකාශ කරන ලදි.

මෙහිදී අදහස් දැක් වූ ඉන්දියානු වෙළෙඳ හා වාණිජ කටයුතු ඇමැති පියුෂ් ගෝයාල් මහතා සඳහන් කළේ විශේෂයෙන් හඳුනා ගත් අංශ 6ක් යටතේ ඉන්දියාවේ සහයෝගය රට රටවල් සඳහා දීමට ඉන්දියානු රජය විසින් කටයුතු කරනු ලබන බවයි.

ඒ අනුව වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම, බෝට්ටු කර්මාන්තය හා විවිධ කර්මාන්ත ආශ්‍රිතව ආයෝජන ප්‍රවර්ධනය, ලෝක සැපයුම් ජාලයේ විකල්ප සැපයුම්කරුවකු වශයෙන් කටයුතු කිරීම, විද්යුත් වාණිජ්‍ය ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් වශයෙන් කටයුතු කිරීම, නවෝත්පාදනය සඳහා ලෝක මධ්‍යස්ථානයක් වශයෙන් කටයුතු කිරීම.

තිරසර සංවර්ධනය සඳහා යළි භාවිත කළ හැකි බලශක්ති ප්‍රභව භාවිත කිරීම යන අංශ ඔස්සේ ඉන්දියාවේ සහාය සෑම රටකටම දීමට ඉන්දියානු රජය කටයුතු කරනු ලබන බව ද ඒ මහතා සඳහන් කළේය. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාව සමඟ ඇති දීර්ඝ කාලීන වෙළෙඳ සබඳතා පිළිබඳ ද සිහිපත් කළ ඒ මහතා දෙරට අතර මෙන්ම ලෝකයේ සෑම රටක් සමඟම ඇති සහයෝගය වර්ධනය තුළින් සාර්ථකව මේ ආර්ථික අභියෝගයන්ට මුහුණ දීමට ද කටයුතු කළ යුතු බව පෙන්වා දුන්නේය.

මේ සමුළුව සඳහා කටාර්, භූතාන, කාම්බෝජය, මාලදිවයින, මොරිෂස්, මියෙන්මාරය යන රටවල වෙළෙඳ ඇමැතිවරු සහභාගි වී සිටියහ.

More articles

Latest article