30 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

ගාලුමුවදොර කාර්යභාරය අවසන් – කළු තොප්පි ව්‍යාපාරය

Must read

ගාලුමුවදොර අරගලය සංකේතීය ජයග්‍රහණයක් අත්පත් කර ගෙන ඇති නිසා තවදුරටත් එම භූමිය තුළ හිඳිමින් තමන්ට කළ හැකි අරගලයක් නැති බව කළු තොප්පි ව්‍යාපාරය (Black Cap Movement) පවසයි.

පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් එම ව්‍යාපාරය ප්‍රකාශ කර සිටින්නේ මෙතැන් සිට අරගලය ඇත්තේ ගාලුමුවදොර කුඩා බිම්කඩක නොව පුළුල් සමාජ දේශපාලන අවකාශයක් තුළ බව තමන් දැඩි ලෙස විශ්වාස කරන බවයි.

එම නිසා එකී අරගලයට පණ පොවනු වස් ගාලුමුවදොර බිම් කඩ තුළ තම දායකත්වය ජූලි 28 දිනෙන් අවසන් කරන බවත් කළු තොප්පි ව්‍යාපාරය සඳහන් කරයි.

එම ව්‍යාපාරය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් මෙසේ සඳහන් කර තිබේ.

2022 මාර්තු 1 දා කොහුවල මංසන්ධියේදී ඉටිපන්දම් දල්වමින් අප ඇරඹූ සාමකාමි අරගලය සඳහා මූලිකම හේතුව වූයේ ශ්‍රී ලංකාවේ සමාජ දේහය වසා පැතිරුණු ආර්ථික හා සමාජීය අර්බුදයත් එම අර්බුදය සඳහා විසඳුම් දීමට ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අත්තනෝමතික පාලනය තුළින් අපොහොසත් වීමත්ය.

මේ හේතුවෙන් ඔඩුදුවන ලද ආර්ථික සමාජ අර්බුදය දේශපාලනික අර්බුදයක් දක්වා වර්ධනය වෙද්දී එතෙක් සමාජ මාධ්‍ය ඔස්සේ පැවති #GotaGoHome විරෝධය පුරවැසි විරෝධයක් ලෙස මහපාරට රැගෙන ඒම සඳහා අවිහිංසාවාදි නව අරගල මාදිලියක් හඳුන්වා දීමට අපට අවශ්‍ය විය. ඒ අනුව අවිහිංසාවාදි නිහඬ විරෝධතා අරගලයේ නව හැඩයක් ලෙස (Micro) කොහුවලින් ආරම්භ කරන ලද අතර, එය සීඝ්‍ර ලෙස අනෙකුත් පළාත් කරා ද ව්‍යාප්ත විය.

ආර්ථික සමාජ අර්බුදය හමුවේ සිය අභිලාශ යථාර්ථයක් කර ගනු නොහැකිව ඉච්ඡාභංගත්වයට පත් පුරවැසියන්ගේ සාමූහික අවිඥානය තුළ #GotaGoHome සටන් පාඨය යථාර්ථයක් කරනු වස් තිර අධිෂ්ඨානයක් ඇති කිරීමට, නගර ගම් දනව් පුරා පැතිර ගිය නිහඬ විරෝධතාවනට හැකි විය. එමෙන්ම මැයි 9 දාට පසුව එළඹි අරගලයේ දෙවැනි වටය සඳහා ද ‘කුස්සියේ විලාපය‘ විරෝධය තුළින් මධ්‍යම පාන්තික කාන්තාවන් අරගලය කරා කැඳවීමට මේ අවිහිංසාවාදි අරගල ආකෘතියට හැකි විය.

අප්‍රේල් 9 දා ‘ගාලු මුවදොර‘ අරගලයේ සංකේතීය ප්‍රකාශනය වූ පසුව ද අවිහිංසාවාදි අරගල ආකෘතියක් තුළින් පුරවැසියන්ට ලබා ගත හැකි ජයග්‍රහණ කෙතෙක් ද යන්න පිළිබඳ ලෝකයට බොහෝ උදාහරණ සපයා ඇති බව අමුතුවෙන් පැවසිය යුතු නොවේ.

More articles

Latest article