27 C
Colombo
අඟහරුවාදා, අගෝස්තු 9, 2022

අඛණ්ඩව සිව්වන දිනයටත් ඒකක 100 ක් ඉක්මවා සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාමක්

Must read

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (05) දිනයේ දී ඒකක 104.23 ක වර්ධනයක් වාර්තා කරන ලදී. එය වාර්තා වන්නේ ඒකක 100 ක් ඉක්මවා සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාමක් වාර්තා කළ අඛණ්ඩ සිව්වන දිනය ලෙසයි. මීට පෙර අඟහරුවාදා (02) ඒකක 138.95 ක්, බදාදා (03) ඒකක 172.62 ක් හා බ්‍රහස්පතින්දා (04) ඒකක 149.00 ක් ලෙසින් පසුගිය තෙදින තුළ දී සියලු කොටස් මිල දර්ශකය ඉහළ යන ලදී.

ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,333.37 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 50.48 කින් ඉහළ ගොස් දිනය අවසානයේ දී ඒකක 2,728.14 ක් ලෙසින් වාර්තා විය.

රු. බිලියන 3.74 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වී තිබුණි. එහිදී කැපී පෙනෙන කරුණ වූයේ ලංකා IOC සමාගමේ කොටස් ගනුදෙනුවලින් පමණක් රු. බිලියන 1.16 ක පිරිවැටුමක් වාර්තා වී තිබීමයි. ලංකා IOC සමාගමේ නවතම මූල්‍ය වාර්තා අද පෙරවරුවේ නිකුත් කෙරුණු අතර ඊට අනුව පසුගිය කාර්තුව තුළ දී රු. බිලියන 9.9 ක බදු ගෙවීමන් පසු ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සමාගම සමත්ව ඇත. ඒ අනුව ආයෝජකයින්ගේ ඉහළ අවධානයක් ලංකා IOC කොටස් වෙත යොමුව තිබුණු අතර එහි කොටසක් මිල රු. 113.00 ක් දක්වා ඉහළ යාමක් වාර්තා විය. මීට අමතරව එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් රු. මිලියන 588.36 ක්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් රු. මිලියන 217.60 ක් හා හේලීස් රු. මිලියන 153 ක් ලෙසින් දෛනික පිරිවැටුමට වැඩි දායකත්වයක් ලබාදුන් සෙසු සමාගම් අතර පෙරමුණේ විය.

මේ අතර අද දින සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාමට හේලීස්, මෙල්ස්ටාකෝප්, LOLC, HNB හා කාර්සන් කම්බර්බැච් යන් සමාගම් වැඩි දායකත්වයක් ලබා දෙන ලදී.

More articles

Latest article