27.5 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

ළමා මන්දපෝෂණයෙන් ශ්‍රී ලංකාව ගෝලිය වශයෙන් 6 වන ස්ථානයේ

Must read

ළමා මන්දපෝෂණයෙන් ශ්‍රී ලංකාව ගෝලිය වශයෙන් 06 වන ස්ථානයේ පසුවන බව යුනිසෙෆ් සංවිධානය පවසයි.

එමෙන්ම දකුණු ආසියාවේ දරුණු මන්ද පෝෂණ තත්ත්වයට මුහුණ දී සිටින රටවල් අතර 02 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්වී ඇති බවත් එම සංවිධානය පෙන්වා දෙයි.

රට තුළ පවතින ආර්ථික අර්බුදය සමග මතුවී ඇති ජීවන වියදම ඉහළයෑම ජනතාවගේ ආහාරවේලට ද දරුණු ලෙස බලපෑම් එල්ල කර ඇති බවද ඔවුන් පවසයි.

ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ දිනෙන් දින ආහාරවල මිල ඉහළ යෑමය.

පෝෂ්‍යදායි ආහාරවේලක් නොලැබීම සහ ආහාර මිලදීගැනීමේ හැකියාවක් නොමැතිවීම හේතුවෙන් මෙරට පවුල් රැසක් දෛනික ආහාරවේල මගහරිමින් සිටින බව යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙයි.

ඒ අනුව වැඩිදුරටත් එම සංවිධානය පවසන්නේ, මෙරට ළමුන්ගෙන් සෑම දෙදෙනෙකුගෙන් එක් අයෙකුටම දැනටමත් යම් ආකාරයේ හදිසි ආධාර උපකාර ලබාදීමේ අවශ්‍යතාවයක් ද පවතින බවය.

මෙරට සංචාරයක නිරතව සිටින යුනිසෙෆ් සංවිධානයේ දකුණු ආසියානු කලාපයේ අධ්‍යක්ෂ ජෝර්ජ් ලැරී අඩ්ජේ මහතා ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව අනාවරණය කළේය.

‍”මානව සංවර්ධනය අතින් ශ්‍රී ලංකාව ඉතාම දීප්තිමත් රටක්. විශේෂයෙන්ම අධ්‍යාපනය සහ සෞඛ්‍ය අතින්. රට මෙවැනි අර්බුදයක සිටින අවස්ථාවක යුනිසෙෆ් සංවිධානය විදිහට අපි ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලීමක් කරනවා, සෞඛ්‍ය සහ අධ්‍යාපනය අතින් ශ්‍රී ලංකාව අත්පත් කරගත් දේ රැකගැනීමට උපකාර කරන ලෙස.”

“අර්බුදය මැද ගෙන ඇති පියවර අතර තවත් අවධානය යොමුවිය යුතු තැන් තිබෙනවා. එකක් තමයි, දරුවන් අතර ඇති මන්දපෝෂණයට අවධානය යොමු කිරීම.”

“ළමා මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව ගෝලිය වශයෙන් 6වන ස්ථානයේ සිටින්නේ. විශේෂයෙන්ම ළමුන් කෘෂභාවයට පත්වීම සම්බන්ධයෙන්. කෘෂභාවය ඉතාම ඉක්මණින් දරුණු තත්ත්වයකට පත්විය හැකියි. එයින් දරුවෙකු මරණයට පවා පත්විය හැකියි. භාණ්ඩ මිල ඉහළයෑම සහ පවුලවල ආදායම අඩුවීම හරහා දරුවන්ගේ කෘෂභාවය සම්බන්ධ ගැටලුව දරුණු තැනකට ගෙනයා හැකියි. මේ ගැටලුවට විශේෂ අවධානයක් යොමුවිය යුතුමයි. මම නැවතත් ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටිනවා මේ තමයි අවස්ථාව අපි ශ්‍රී ලංකාවේ දරුවන් සහ පවුල්වලට උදව් කළ යුතුම.”

More articles

Latest article