31 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 13, 2024

ඉන්ධන ඇණවුම් කරන්න සිපෙට්කෝ වෙතින් උදෑසන 10 දක්වා පෙර ගෙවුම් කාලයක් – විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය

Must read

සිපෙට්කෝ පිරවුම්හල්වලට ඉන්ධන ඇණවුම් කිරීම සඳහා උදෑසන 10 දක්වා පෙර ගෙවුම් කාලයක් දී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම් එම්.පී.ඩී.යූ. මාපාපතිරණ මහතා ඊයේ (04) පැවසීය.

එමෙන්ම අන්තර්ජාලය හරහා ඉන්ධන ඇණවුම් කිරීමට ද එම පිරවුම්හල්වලට අවස්ථාව තිබෙන බවත් ඒ මහතා කීවේය.

අමාත්‍යංශ ලේකම්වරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඛනිජ තෙල් සංස්ථාව හඳුන්වා දී ඇති නව ඉන්ධන ඇණවුම් ක්‍රමය සම්බන්ධයෙන් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් කළ විමසීමක දීය.

මීට පෙර චෙක්පත්වලින් ගෙවීමට අවස්ථාව පිරවුම්හල්වලට අවස්ථාව දී තිබුණත් චෙක්පත් මුදල් බවට පත්වීමට දින ගණනාවක් ගතවීම නිසා ඉන්ධන ඇණවුම් කිරීමට මුදල්වලින් ගෙවීමේ නව ක්‍රමය ගෙන ආ බව ලේකම්වරයා පැවැසීය.

තවද ඉන්ධන ආනයනයට රජයට මුදල් අවශ්‍ය බැවින් ඉන්ධනහල් හිමියන්ගෙන් මෙසේ ඝෘජු මුදල් තැන්පත් හරහා මුදල් ලබා ගන්නා බවත් ඉන්ධනහල් විදෙස් සමාගම්වලට දීම සඳහා ඉන්ධනහල් අපහසුතාවට පත්වන අයුරින් කටයුතු කරන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවද මාපා පතිරණ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

ඉන්ධන ඇණවුමට අදාළ චෙක්පත මීට පෙර අදාළ බවුසරය සමඟ එවා ඛනිජ තෙල් සංස්ථාවට ලබා දීමට පුරුදුව තිබුණත් එම චෙක්පත බැංකුවේ තැන්පත් කර මුදල් කර ගැනීමට තව දින ගණනාවක් ගත වන නිසා දෛනික ඉන්ධන ඇණවුමට අදාළ මුදල් බැංකු තැන්පතුවකින් හෝ අන්තර්ජාලය හරහා ඇණවුම් කිරීමට ඉන්ධන පිරවුම්හල් හිමියනට අවස්ථාව ලබා දුන් බවත් අමාත්‍යංශ ලේකම්වරයා තවදුරටත් කීවේය.

කෙසේ වෙතත් ඉදිරියේ දී නැවත් වරක් පෝලිම් ඇතිවවීමකින් තොරව කිව්.ආර්. ක්‍රමය යටතේ ඉන්ධන සැපයීමට ඉන්ධන ඇණවුම් කර ඇති බවත් මාපා පතිරණ මහතා වැඩිදුරටත් පැවැසීය.

ඛනිජ තෙල් සංස්ථාවේ මෙම නව තීරණය නිසා සිපෙට්කෝ පිරවුම්හල් 400ක් පමණ වසා දැමීමට සිදුව ඇතැයි ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර සිටියි. තවද ඛනිජ තෙල් සංස්ථාවේ අලුතින් හඳුන්වා දුන් ඉන්ධන ඇණවුම් සඳහා ගෙවීම් කිරීමේ ක්‍රමවේදය නිසා පෙර දින උදෑසන 9.30ට පෙර ඊළඟ දිනට අදාළ ඉන්ධන ඇණවුම් සඳහා මුදල් ගෙවීම නොකළහොත් ඉන්ධන ලබාදීම නොකරන බවත් ඒ හරහා ඉන්ධන පිරවුම්හල් අපහසුතාවට පත්කරවන බවද එම සංගමය වැඩිදුරටත් චෝදනා කර සිටියි.

ලංකා අයි.ඕ.සී. සමාගමෙන් ඉන්ධන ඇණවුම් කිරීමේදී ඉන්ධන ඇණවුම් කළ දිනට පසු දින මුදල් ගෙවීමට අවස්ථාව දී ඇති බව ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් රාජපක්ෂ මහතා පැවසීය.

More articles

Latest article