30 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

දකුණු අප්‍රිකානු ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියට ශ්‍රී ලංකාවෙන් 30ක්

Must read

ලබන වසරේ ජනවාරියේ පළමු වරට පැවැත්වෙන දකුණු අප්‍රිකානු විස්සයි20 ලීග් තරගාවලියේ ලබන 19 වැනිදා පැවැත්වීමට නියමිත ක්‍රීඩක වෙන්දේසියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයෝ තිස්දෙනකු ඇතුළත් වෙති.

මේ අතුරින් ඉහළම මිලක් නියම කළ ක්‍රීඩකයන් අටදෙනා අතරට යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක චාමික කරුණාරත්න ඇතුළත් වී සිටී. වෙන්දේසි කිරීමට නියමිත ප්‍රධානතම ක්‍රීඩකයන් අටදෙනාට දකුණු අප්‍රිකානු මුදලින් රෑන්ඩ් මිලියන 1.7ක මූලික ලංසුවක් නියම කර ඇති අතර, එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 3.6කට අධික වේ.

චාමික කරුණාරත්න දකුණු අප්‍රිකා ලීග් තරගාවලියේ ප්‍රධානතම ක්‍රීඩකයන් අතරට එක් වූ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන අතර, එංගලන්තයේ ජේසන් රෝයි, ඔයින් මෝගන්, ටයිමල් මිල්ස් සහ ආදිල් රෂීඩ්, බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලින් ඕඩියන් ස්මිත් සහ ජේඩ්න් සීල්ස් සහ නවසීලන්තයෙන් ජිමී නීෂම් සෙසු ක්‍රීඩකයෝ වෙති. තරගාවලියේ මූලික අදියරට ක්‍රීඩකයන් 500කට අධික සංඛ්‍යාවක් ඇතුළත් වී සිටි අතර, වෙන්දේසිය සඳහා සකස් කළ කෙටි ලැයිස්තුවට ඇතුළත් වන ක්‍රීඩකයන්ගේ සංඛ්‍යාව 318කි. ඒ අතරින් ක්‍රීඩකයන් 52කට දකුණු අප්‍රිකානු මුදලින් රෑන්ඩ් අටලක්ෂ පනස්දහසක මූලික ලංසුවක් (රුපියල් එක්කෝටි අසූඑක්ලක්ෂයක්) නියම කර ඇත.

ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 11 දෙනකු එම කාණ්ඩයට ඇතුළත්ව සිටිති. පැතුම් නිශ්ශංක, කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, මතීෂ පතිරණ, අවිශ්ක ප්‍රනාන්දු, අකිල ධනංජය, බිනුර ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, කසුන් රාජිත, ධනංජය ද සිල්වා සහ ධනුෂ්ක ගුණතිලක ඒ අතර වෙති. මීට අමතරව එංගලන්ත ක්‍රීඩකයන් 13ක්, දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් 10ක්, බටහිර ඉන්දීය කොදෙව් දූපත් ක්‍රීඩකයන් 7ක්, ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන් 6ක්, ඔස්ට්‍රේලියාවෙන් සහ නවසීලන්තයෙන් ක්‍රීඩකයන් දෙදෙනකු බැගින් සහ අයර්ලන්තයෙන් ක්‍රීඩකයකු ද ඊට ඇතුළත් වෙති. මීට අමතරව කුසල් මෙන්ඩිස්, ජෙෆ්රි වැන්ඩසේ, තරිඳු කෞෂාල්, ළහිරු මධුසංඛ, කමිඳු මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස් සහ අෂාන් ප්‍රියංජනට දකුණු අප්‍රිකානු රෑන්ඩ් 4,25,000ක (රුපියල් ලක්ෂ 91ක්) නියම කර ඇති අතර, විශ්ව ප්‍රනාන්දු සහ ධනංජය ලක්ෂාන් රෑන්ඩ් තුන්ලක්ෂ පනස්දහසක (රුපියල් ලක්ෂ 75ක) මූලික ලංසුවකට නියම කර ඇත.

මේ අතර ප්‍රමෝද් මධුෂාන්, ශෙහාන් මධුසංඛ, නුවන් තුෂාර, අසිත ප්‍රනාන්දු, දුනිත් වෙල්ලාලගේ, ඩිල්ෂාන් මධුසංඛ, ලක්ෂාන් සඳකැන්, දුෂාන් හේමන්ත සහ සුමින්ද ලක්ෂාන් දකුණු අප්‍රිකානු මුදලින් රෑන්ඩ් 1,75,000ක (රුපියල් ලක්ෂ 37ක) මුදලක මූලික ලංසුවට ඇතුළත් වෙති.

වෙන්දේසිගත කිරීමට නියමිත ක්‍රීඩකයන් අතර දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් 160 දෙනකු සිටින අතර, විදේශීය ක්‍රීඩකයෝ 158ක් සිටිති. ඒ අතරට එංගලන්ත ක්‍රීඩකයන් 54ක්, කොදෙව් ක්‍රීඩකයන් 31ක්, ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 30ක්, ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන් 13ක්, අයර්ලන්ත ක්‍රීඩකයන් 7ක්, ස්කොට්ලන්තයෙන්, නවසීලන්තයෙන් සහ නෙදර්ලන්තයෙන් ක්‍රීඩකයන් 4 බැගින්, ඔස්ට්‍රේලියාවෙන්, අමෙරිකාවෙන් සහ සිම්බාබ්වේ පිලෙන් ක්‍රීඩකයන් 3ක්, හොංකො සහ නමීබියාවෙන් එක් ක්‍රීඩකයකු බැගින් ඇතුළත්ව සිටිති.

කණ්ඩායම් 6ක් තරග වදින දකුණු අප්‍රිකානු විස්සයි20 ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය 19 වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.30ට ආරම්භ කෙරේ.

More articles

Latest article