34 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

චීන – ශ්‍රී ලංකා විදෙස් ඇමතිවරු හමුවක්

Must read

නිදහස් වෙළෙඳ ගිවිසුමක් සඳහා වූ සාකච්ඡා කඩිනම් කිරීමට ශ්‍රී ලංකා සහ චීන බලධාරීන් එකඟ වී තිබේ.

එමගින් දෙරට අතර ආර්ථික සහ වෙළෙඳ සහයෝගීතාව තවත් ශක්තිමත් කර ගත හැකිවෙතැයි කොළඹ පිහිටි චීන තානාපති කාර්‍යාලය පවසයි.

77 වන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරය අතරතුර චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි යන මහත්වරුන් අතර පැවති හමුවේ දී සඳහන් වී ඇත්තේ එමගින් චීනය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික හා ‍වෙළෙඳ සහයෝගීතාව පිළිබඳව විශ්වාසය හා ස්ථාවරත්වය ඉහළ නැංවිය හැකි බවය.

ශ්‍රී ලංකාව සමග සාම්ප්‍රදායික මිත්‍රත්වය ශක්තිමත් කිරීමට, උපායමාර්ගික අන්නෝන්‍ය විශ්වාසය තහවුරු කිරීමට මෙන්ම සහයෝගීතාව පුළුල් කිරීමට චීනය සූදානම් බව චීන විදේශ කටයුතු අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

රට ස්ථාවර කිරීම හා දුෂ්කරතා සමනය කිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ශ්‍රී ලංකාව වෙත සුබ පැතුම් එක් කර ඇති වැන්ග් යී මහතා පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහාය ලබාදීමට සූදානම් බව සඳහන් කර ඇත.

මේ අතර ශ්‍රී ලංකාව ඇතුළු අසල්වැසි රටවල් මුහුණ දී සිටින දුෂ්කර අවස්ථාවේ ඔවුන්ට උපකාර කිරීම සඳහා ඉන්දියාව සුවිශේෂී ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා පවසයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මේ වසර තුළ ශ්‍රී ලංකාව සඳහා පමණක් ඩොලර් බිලියන 3.8ක මූල්‍ය පහසුකම් ලබාදීමට ඉන්දියාව පියවර ගෙන ඇති බවය.

පවතින ගෝලීය අර්බුද හමුවේ ජාත්‍යන්තර ප්‍රජාව පටු න්‍යාය පත්‍ර පසෙකලා නැගී සිටිය යුතු බව ද එස්. ජයිශංකර් මහතා ප්‍රකාශ කර තිබුණි.

More articles

Latest article