33 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

කිලෝමීටර් 140ට වැඩි අධිවේගී බළඇණියෙන් ප්‍රතිවාදීන් යටකළ හැකියි – දසුන් ශානක

Must read

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සතුව කිලෝමීටර් 140ට වැඩි වේගයකින් පන්දු යවන ක්‍රීඩකයන් තිදෙනකුම සිටින හෙයින් මෙවර ලෝක කුසලානයේදී ප්‍රතිවාදීන් මෙල්ල කළ හැකි විශේෂ වාසියක් තමන්ට හිමිව ඇතැයි ක්‍රිකට් නායක දසුන් ශානක පවසයි. මෙයට පෙර ශ්‍රී ලංකා වේග පන්දු බළ ඇණියේ එවැනි වේග පන්දු යවන්නන් උපරිම වශයෙන් දෙදෙනකු පමණක් සිටි හෙයින් මෙවර සංයුතියේ ප්‍රබල වෙනස් ඇතැයි ශානක පැවැසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඊයේ අලුයම් කාලයේ ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය අතර එයට පෙර පැවැති මාධ්‍ය හමුවේදී දසුන් ශානක මේ බව පැවැසීය. “ ඔස්ට්‍රේලියාවේ තණතිලි හා පරිසරයට සමාන පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ අප ඉතා සාර්ථක පුහුණු සැසියක් පැවැත්වූවා. ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩාංගණවලට ගැලපෙන පරිදි පන්දු යවන්නන් උපක්‍රම වෙනස් කරන්නේ කොහොමද කියන එක පුහුණු සැසියේදී අවධානයට ලක් කළා. යෝකර්, වයිඩ් යෝකර්, ස්ලෝ බවුන්සර් හරි විදිහට පාවිච්චි කළ යුතුයි. ඒ ගැන පුළුල් අධ්‍යයනයක් කළා“ ශානක පැවැසීය.

“ආසියානු කුසලානය ගැන හිතලා අපි දැන් වැඩ කරන්නේ නැහැ. ඒක ඉතිහාසයට එක්වෙලා ඉවරයි. දැන් අපේ සම්පූර්ණ අවධානය ඉදිරි අලුත් තරගාවලිය පිළිබඳවයි. චරිත් අසලංක ගැන අපිට කොයිවෙලාවෙත් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. තරගයක් දෙකක් අසාර්ථක වුණාට එළියට දාන්නේ නෑ. ඔහු දක්ෂතා අතරට අනිවාර්යයෙන්ම එනවා. ධනංජය පිළිබඳ බලන්න වෙන්නේ ඔස්ට්‍රේලියාවට ගියාට පසුවයි. ඔහු අනිවාර්යයෙන්ම කණ්ඩායමේ ඉන්නවා. වනිඳු ට ඕනෑම තත්ත්වයක් යටතේ පන්දු යැවීමේ හැකියාව තිබෙනවා“ ශානක සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක මහේල ජයවර්ධන ඔස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකා පිල මුලින්ම සුදුසුකම් ලැබීමේ වටයට මුහුණු දෙන අතර මේ 16වැනිදා නැමීබියාව සමඟ, 18 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ හා 20 වැනිදා නෙදර්ලන්තය සමඟ තරග වදිනු ඇත.

More articles

Latest article