33 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්

Must read

සංචාරක ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ඇෆ්ගනිස්තානයට ලකුණු 60ක ජයක් හිමි වෙයි.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ පැවති තරගයේදී කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් නායක හෂ්මතුල්ලා ෂාහිඩි මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, නියමිත ඕවර 50කදී කඩලු 8කට ලකුණු 294ක් ලබා ශ්‍රී ලංකාවට අභියෝග එල්ල කළේය. එම ඉලක්කය පසුපස හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕවර 38කදී ලකුණු 234කට දවා ගැනීමට ඇෆ්ගනිස්තානය සමත් විය.

ශ්‍රී ලංකා ඉනිම ගොඩනැඟීමට විශාල වෙහෙසක් ගෙන නැංගුරමක් සේ සිටි ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක හා ප්‍රහාරය වඩාත් ආරක්ෂාකාරී බව සිතූ වනිඳු හසරංග අර්ධ ශතක රැස් කර ගැනීමට සමත් වුවද පරාජයෙන් ගැලවීමට නොහැකි විය. පැතුම් පන්දු 83කදී හතරේ පහර 10ක් සමඟ ලකුණු 85ක් රැස් කළ අතර, එය ඔහුගේ 6 වැනි එක්දින අර්ධ ශතකය විය. ඉතා පැහැදිලි අනාගතයක් ඇති තවමත් 24 හැවිරිදි පැතුම් නිශ්ශංක ඊයේ තම 10 වැනි එක්දින තරගයට සහභාගි වූ අතර, එම ගමන් මගේදී ශතකයක් ද රැස් කර තිබේ.

දිනයේ කැපී පෙනෙණ පිතිකරු බවට පත් වූ තුන් ඉරියව් දක්ෂතා ඇති වනිඳු හසරංග ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී හුදකලා සටනක නිරත වෙමින් පන්දු 46කදී හයේ පහර 2ක් හා හතරේ පහර 10ක් සමඟ ලකුණු 66ක් රැස් කළේය. පල්ලෙකැලේ ක්‍රීඩා පිටියේ දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන්ට අමතක නොවන අත්දැකීමක් දුන් වනිඳු තම එක්දින ජීවිතයේ සිවුවැනි අර්ධ ශතකය වාර්තා කළේය. ඔහු අවසන් කඩුල්ලට දැවී ගියේ ෆාරුකී එවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනි. ෆසාල් හක් ෆාරුකී ශ්‍රී ලංකා ඉනිම කඩා බිඳ හෙළමින් ලකුණු 49කට කඩුලු 4ක් බිඳ දැම්මේය.

ශ්‍රී ලංකා ඉනිමේ සිවුවැනි ඕවරයේදීම ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් ලකුණු 1කට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය අතර, දිනේෂ් චන්දිමාල් ලකුණු 14ක් ලබා සිටියදී පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය. එම පළමු කඩුලු දෙකම ඇෆ්ගනිස්තාන ආරම්භක පන්දු යැවූ ෆසාල් හක් ෆාරුකී හා යාමීන් අහමඩ්සායි අතර බෙදී ගියහ. පැතුම් හා ධනංජය ද සිල්වා 3 වැනි කඩුල්ලට ලකුණු 39ක සම්බන්ධතාවක් ගොඩනඟා සිටියදී ධනංජය වේග පන්දු යැවූ ගුල්බදින් නයිබ්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ලකුණු 16කට දැවී ගියේය.

ගුල්බදින් නයිබ් වම් ඉන්නෙන් පිටතට දෝලනය කළ පන්දුවකට චරිත් අසලංක ඉදිරි පාදයේ ආරක්ෂාකාරී පහරක් එල්ල කිරීමට යෑමේදී පළමු ස්ලිප් හී සිටි ඊබ්‍රහිම් සද්‍රාන්ගේ අතට උඩ පන්දුවක් දී ලකුණු 10කට සිවුවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.

දසුන් ශානක ලකුණු 12ක් ලබා සිටියදී ගුල්බදින් නයිබ්ගේ පන්දුවකට එල්ල කළ උඩ පන්දුව බැක්වර්ඩ් පොයින්ට්හි සිටි ඊබ්‍රහිම් සද්‍රාන් අතින් ගිලිහී ගිය හෙයින් තව දුරටත් කඩුල්ලේ රැඳී සිටීමේ වාසනාව උදා විය. එහෙත් ශානක ලකුණු 16ක් සිටියදී ගුල්බදින් එවූ පන්දුවකට යාමීන් අහමඩ්සායි වෙත උඩ පන්දුවක් දී දැවී ගියේය.

ඇෆ්ගනිස්තානය එක්දින ක්‍රිකට් තරගයකදී ශ්‍රී ලංකාවට එරෙහි වැඩිම ලකුණු ප්‍රමාණය මේ තරගයේදී වාර්තා කළ අතර, මෙයට පෙර 2018 වර්ෂයේදී අබුඩාබිහි පැවති ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය ලකුණු 249ක් වාර්තා කර තිබිණි.

ඇෆ්ගනිස්තාන මුල් පිතිකරුවන් තිදෙනා ඊයේ තරගයේදී ලකුණු 232ක් රැස් කිරීමෙන් ඔවුන්ගේ ලකුණු පුවරුව ශක්තිමත් විය. ආරම්භක පිතිකරු රහ්මානුල්ලා ගුර්බාස් ලකුණු 13ක් ලබා සිටියදී දුන් උඩ පන්දුව දෙවැනි ස්ලිප්හි සිටි ධනංජය ද සිල්වා අතින් ගිලිහී යෑමත් සමඟ තවදුරටත් ක්‍රියාත්මක වූ පිතිකරු තම පළමු එක්දින අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය. ගුරුබාස් එක්දින ශතක තුනක් වාර්තා කර ඇති පළපුරුදු පිතිකරුවෙකු වන අතර, ඊයේ දිනයේ පන්දු 55කට මුහුණදී හතරේ පහර 9ක් සමඟ ලකුණු 53ක් රැස් කිරීමට සමත් විය.

දෙවැනි කඩුල්ලට පන්දු 141ක් තුළදී ලකුණු 118ක සම්බන්ධතාවක් ගොඩනැඟූ ඊබ්‍රහිම් සද්‍රාන් හා රහමට් ෂා තම පිලට හොඳ අඩිතාලමක් දැමීමට සමත් විය. 20 හැවිරිදි ඊබ්‍රහිම් සද්‍රාන් තම දෙවැනි එක්දින ශතකය වාර්තා කරමින් පන්දු 120කදී හතරේ පහර 11ක් සමග ලකුණු 106ක් රැස් කිරීමට සමත් වූ අතර, රහමට් ෂා තම 21 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් පන්දු 64කදී හතරේ 2ක් සමඟ ලකුණු 52ක් ලකුණු පුවරුවට එක් කළේය. ඒ සමඟම රහමට් ෂා තම එක්දින ලකුණු 3000 සම්පූර්ණ කිරීම ද විශේෂත්වයක් විය.

ඇෆ්ගනිස්තාන අවසන් කඩුලු 5 ලකුණු 62ක් තුළ බිඳ හෙළීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වීම හේතුවෙන් ලකුණු ලබා ගැනීමේ වේගය තරමක් අඩාල වූ අතර, ගුල්බදින් නයිබ් පමණක් ලකුණු 22ක් ලබා ගත්තේය.

වනිඳු හසරංග කඩුලු 2ක් හා කසුන් රාජිත. ළහිරු කුමාර, ධනංජය ලක්ෂාන් හා මහේෂ් තීක්ෂණ කඩුල්ල බැගින් බිඳ හෙළුහ.

තරග 3කින් සමන්විත දෙපිල අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය හෙට (27) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට කටයුතු යොදා ඇත.

More articles

Latest article