34 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

ලයන්ස් ක්‍රීඩකයෝ පළමු දිනයේම අණසක පතුරති

Must read

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ පිතිකරුවන්ගේ නොසැලකිල්ලෙන් මනාව ප්‍රයෝජනගත් සංචාරක එංගලන්ත ලයන්ස් ක්‍රීඩකයෝ ඊයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ පළමු සිව්දින ටෙස්ට් තරගයේ පළමු දිනයේම අණසක පැතිරවීමට සමත් වූහ.

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම ලකුණු 136කට සීමා කළ ඔවුන් පළමු දිනයට තරගය නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 249ක් රැස් කරමින් ප්‍රබල ස්ථානයක පසු විය. තවත් කඩුලු 7ක් අතැතිව සිටින ලයන්ස් පිල ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 113ක් ඉදිරියෙන් සිටී.

ටොම් හේන්ස් ලකුණු 62ක් සහ ජොෂ් බොහානන් ලකුණු 26ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.

ලයන්ස් ඉනිමට සාර්ථක ආරම්භයක් දුන් ඇලෙක්ස් ලීස් සහ නායක හසීබ් හමීඩ් පළමු කඩුල්ලට ලකුණු 125ක් එක් කළහ. ලයන්ස් පිතිකරුවන් වේගයෙන් ලකුණු රැස් කිරීමට කටයුතු කළ අතර, ලීස් දැවී යන විට හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් පන්දු 69කින් ලකුණු 56ක් රැස් කර තිබිණි. ඉන් නොනැවතුණු හමීඩ් ශ්‍රී ලංකා පළමු ඉනිම අබිබවා කණ්ඩායම ඉදිරියට ගෙන ගිය අතර, ඔහුගේ ඉනිම නිමා වන විට ලයන්ස් ලකුණු පුවරුව කඩුලු 2කට ලකුණු 189ක් විය. ඔහු පන්දු 109කින් ලකුණු 81ක් රැස් කළේ හතරේ පහර 9ක් සමඟිනි. ලීස්, ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවක් හමුවේ සහ හමීඩ් සහන් ආරච්චිගේ පන්දුවකින් දැවී ගියේය.

තෙවැනි කඩුල්ල ලෙස ටොම් ඇබෙල් ලකුණු 7කට දැවී ගියේ ඇඹුල්දෙණිය හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙනි.

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දීමට නිපුන් ධනංජය තීරණය කළ ද පිතිකරුවන්ට යෝග්‍ය වූ ගාලු තණතිල්ලේදී ඉක්මන් ලකුණු සොයා ගිය ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවන් අසීරු අඩියකට ඇද දැමීමට ලයන්ස් පන්දු යවන්නෝ සමත් වූහ. එහි ප්‍රතිඵලයක් වූයේ දිවා විවේකය සඳහා තරගය නතර කරන විටත් ශ්‍රි ලංකා කණ්ඩායමට ලකුණු 101කදී මුල් පෙළ පිතිකරුවන් 6 දෙනකු අහිමිවීමය.ලයන්ස් පන්දු යවන්නන් හමුවේ යම්තාක් දුරට හෝ සටනක නිතර වූ සදීර සමරවික්‍රම පන්දු 60කින් ලකුණු 43ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. තුන්දින පුහුණු තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නිශාන් මධුෂ්කට (150) ඊයේ රැස් කළ හැකි වූයේ එක් ලකුණක් පමණි. නුවනිඳු ප්‍රනාන්දු (17), ඕෂද ප්‍රනාන්දු (21), නිපුන් ධනංජය (15), සහන් ආරච්චිගේ (3) සහ දුනිත් වෙල්ලාලගේ (0) ඊයේ දිවා විවේකය වන විටත් යළි ක්‍රීඩාගාරය කරා හරවා යැවීමට ලයන්ස් පන්දු යවන්නන් සමත්ව තිබිණි.

දිවා ආහාරයෙන් පසුව ක්‍රියාත්මක වූ මැට් ෆිසර් අවසන් පිතිකරුවන් සිව්දෙනා දවා ගනිමින් ඉනිම ලකුණු 136කට සීමා කළේය. පසු පෙළ පිතිකරුවන් අතුරින් ලක්ෂිත මානසිංහ පමණක් ලකුණු 26ක් රැස් කළ අතර, සෙසු පිතිකරුවන්ට ලකුණු 10 සීමාවට පිවිසීමට අවස්ථාවක් නොලැබිණි.

පන්දු යැවීමේදී මැතිව් ෆිෂර් කඩුලු 5ක් බිඳ දැමූ අතර, ලියම් පැටර්සන් කඩුලු 3ක් දවා ගත්තේය.

අද තරගයේ දෙවැනි දිනයයි.

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම – 136 (ඕවර 35.4) සදීර සමරවික්‍රම 43, ලක්ෂිත මානසිංහ 26, ඕෂද ප්‍රනාන්දු 21 (මැතිව් ෆිෂර් 34/5, ලියම් පැටර්සන් 51/3)

ලයන්ස් පළමු ඉනිම – 249/3 (ඕවර 48) හසීබ් හමීඩ් 81, ඇලෙක්ස් ලීස් 56, ටොම් ඇබෙල් නොදැවී 62 (ලසිත් අඹුල්දෙණිය 89/2)

More articles

Latest article