29 C
Colombo
බදාදා, මැයි 22, 2024

සමස්ත ජනගහනයෙන් 70%ක් එන්නත් කර අවසන් – අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල

Must read

මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 70ක් එන්නත්කරණයට ලක් කර ඇති බව සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා යුරෝපානු සංගමයේ නිලධාරීන් පිරිසක් හමුවේ ඊයේ (29) ප්‍රකාශ කළේය. වයස අවුරුදු 30 ඉක්ම වූ ජනගහනය මුළුමනින්ම පූර්ණ එන්නත්කරණයට ලක්කර අවසන් යැයි ද ඇමැතිවරයා ඔවුන්ට පැවසුවේය.

ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ යුරෝපානු සංගමයේ තානාපති ඩෙනී චයිබි (Denis Chaibi) මහතා ඇතුළු පිරිසක් ඊයේ (29) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී හමුවීමත් සමඟ මේ බව ප්‍රකාශ කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්බන්ධීකරණයෙන් යුරෝපානු සංගමය මඟින් මෙරට සෞඛ්‍ය පද්ධතිය සඳහා යුරෝ මිලියන 02 ක් පමණ වටිනා සෞඛ්‍ය උපකරණ ලබාදීමක් ද මෙහිදී සිදු කෙරිණි. පල්ස් ඔක්සිමීටර, ඊසිජී යන්ත්‍ර,ඔක්සිජන් රෙගියුලේටර්ස්, රෝහල් ඇඳන් එම සෞඛ්‍ය උපකරණවලට අයත් ය.

යුරෝපානු ආයෝජන බැංකුව හරහා කොවිඩ් වසංගතය පාලනය සඳහා යුරෝ මිලියන 100ක විශේෂ සහන ක්‍රමයක ණය ආධාරයක් දීම පිළිබඳව මෙහිදී ශ්‍රී ලංකාවේ යුරෝපානු සංගමයේ තානාපතිවරයා සාකච්ඡා කළේය.

එන්නත්කරණයෙන් ලොව ඉහළ මට්ටමක සිටින ශ්‍රී ලංකාවේ අවුරුදු 20ත් 29 ත් අතර තරුණ ජනගහනයෙන් සියයට 60 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට එන්නත්කරණයට ලක් කර ඇතැයි ද, අවුරුදු 15-19 ත් පාසල් මට්ටමේ දරුවන් සියයට 32 ක් එන්නත්කරණයට ලක්කර ඇතැයි ද ඇමැතිවරයා කීය.

බූස්ටර් එන්නතක් මෙරට ජනතාවට ලබාදීම ආරම්භ කරන බවත් සෞඛ්‍ය, ආරක්ෂක හා සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන්නන් ඇතුළු ඉදිරි පෙළ පිරිස් සඳහා ප්‍රමුඛතාවය බූස්ටර් එන්නත ලබාදීමේදී සිදු කරන බවත් ඇමැතිවරයා පැවසුවේය.

එම වැඩපිළිවෙෙළ ආරම්භ කිරීම සඳහා මිලියනයක එන්නත් තොගයක් තිබෙන බවත් සෑම සතියකම ලක්ෂ 04 ක එන්නත් ප්‍රමාණයක් මෙරටට ලැබෙන බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

විවිධ ආගමික මෙන්ම සම්ප්‍රදායික මත හේතුවෙන් එන්නත්කරණයට යොමු නොවූ පිරිස් ඒ සඳහා යොමු කරවීමට එවැන්නන් සොයා ගෙයින් ගෙට ගොස් එන්නත්කරණයට යොමු කරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

More articles

Latest article