25 C
Colombo
සඳුදා, මැයි 20, 2024

කොවිඩ් මර්දන එන්නත් ඉලක්කය මේ මස අවසන් වන විට සපුරා ගැනීමට පියවර

Must read

මෙරට ජනගහනයෙන් සියයට 70කට කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ ඉලක්කය මේ මස අවසන් වන විටදී සපුරා ගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් 19 පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක, වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසුවේය.

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ සමස්ත ජනගහනයෙන් සියයට 70 ක් මේ වන විට පළමු මාත්‍රාව ගෙන අවසන් බවත් දෙවැනි මාත්‍රාව සියයට 61 ක් ලබාගෙන අවසන් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

සමස්ත ජනගහනයෙන් කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව 15,621,332 ක් ද, දෙවැනි මාත්‍රාව 13,476,941 ක් ද ලබාගෙන තිබේ.

කොවිඩ් මර්දනය සඳහා වන තුන්වැනි මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලෙස ලබාදෙන ෆයිසර් එන්නත් මාත්‍රා 2393 ක් පසුගිය දෙදින තුළ ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

කොවිඩ් මර්දනය සඳහා එන්නත් මාත්‍රා මිලියන 32.2 ක් මෙරටට ගෙනැවිත් ඇති බවත් ඉන් එන්නත් මාත්‍රා මිලියන 25.37 ක් මිලදී ගැනීම් සිදු කර ඇති බවත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසයි.

ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 17.4 ක් ඉදිරියේදී මෙරටට ගෙන ඒමට නියමිත ය.

කොවිෂීල්ඩ් පළමු මාත්‍රාව 1,479,631 ක් ද, දෙවැනි මාත්‍රාව 1,402,183 ක් ද, සයිනොෆාම් පළමු මාත්‍රාව 11,902,851 ක් ද, දෙවැනි මාත්‍රාව 10,695,887 ක් ද, ස්පුට්නික් පළමු මාත්‍රාව 159,110 ක් ද, දෙවැනි මාත්‍රාව 155,764 ක් ද, ෆයිසර් පළමු මාත්‍රාව 1,276,642 ක් ද, දෙවැනි මාත්‍රාව 440,772 ක් ද, තුන්වැනි මාත්‍රාව 2393 ක් ද, මොඩර්නා පළමු මාත්‍රාව 803,098 ක් ද, දෙවැනි මාත්‍රාව 782,335 ක් ද ලෙස එන්නත් මාත්‍රා මෙරට ජනතාව ලබාගෙන තිබේ.

More articles

Latest article