28.8 C
Colombo
ඉරිදා, මැයි 26, 2024

කොවිඩ්වලින් පීඩාවට පත් ව්‍යාපාරිකයන්ට දුන් ණය කෝටි 400,000 ඉක්මවයි

Must read

කොවිඩ් වසංගතයෙන් බලපෑමට පත් ව්‍යාපාර සහ පුද්ගලයන්ට දුන් ණය සහන ප්‍රමාණය රුපියල් කෝටි 400,000 (රුපියල් බිලියන 4,000) ඉක්මවා තිබේ.

සෞභාග්‍යා ණය පමණක් රුපියල් කෝටි 17,900 (රුපියල් බිලියන 179) ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර තිබෙන නවතම වාර්තාවක දැක්වේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අධීක්ෂණය කරන මූල්‍ය ආයතන මඟින් කොවිඩ්-19 හේතුවෙන් බලපෑමට පත් ණය ගනුදෙනුකරුවන්ට සහාය දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව යෝජනා ක්‍රම කිහිපයක් ක්‍රියාත්මක කර තිබෙන අතර කොවිඩ් හේතුවෙන් බලපෑමට පත් ණය ගනුදෙනුකරුවන් සඳහා ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කිරීම, සහනදායී පොලී අනුපාතික, කාරක ප්‍රාග්ධන ණය, ණය සහන සහ ණය පහසුකම් ප්‍රතිව්‍යුහගත කිරීම, ප්‍රතිලේඛනගත කිරීම මෙම යෝජනා ක්‍රමවලට ඇතුළත් බව එම බැංකුව පෙන්වා දෙයි. සංචාරක, ඇඟලුම්, වැවිලි, තොරතුරු තාක්ෂණය, කාර්ය සම්පාදන සේවා සැපයුම්කරුවන්, ත්‍රිරෝද රථ හිමිකරුවන්, පාසල් වෑන් රථ ක්‍රියාකරුවන්, ලොරි රථ, කුඩා භාණ්ඩ ප්‍රවාහන රථ හා බස් රථ වැනි බලපෑමට පත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බොහොමයකට සහ පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ට මෙම සහන බෙහෙවින් උපකාරී වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක කරන සහන යෝජනා ක්‍රමවලට අනුගත වෙමින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ප්‍රමුඛත්වය දෙමින් මූල්‍ය ආයතන ලක්ෂ 29කට අධික ඉල්ලීම් ප්‍රමාණයක් අනුමත කරමින් සමස්තයක් ලෙස රුපියල් කෝටි 408,380ක (රුපියල් බිලියන 4,083.8) අගයකින් යුත් ණය සහන දී ඇත. බලපත්‍රලාභී බැංකු 2021.12.31 දක්වා සහ බැංකු නොවන මූල්‍ය ආයතන 2022.03.31 දක්වා දීර්ඝ කළ මෙම සහන, රැකියා අහිමි වීම, ආදායම් අඩුවීම, ව්‍යාපාර කටයුතු දුර්වල වීම‍, ව්‍යාපාර වසා දැමීම යනාදී කරුණු හේතුවෙන් මූල්‍ය දුෂ්කරතාවලට මුහුණ දුන් ඉහත පාර්ශ්වයන් වෙත දීමට කටයුතු කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර නඟාසිටුවීම සඳහා අදියර 3ක් යටතේ සෞභාග්‍යා කොවිඩ් 19 පුනරුද සහන ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කර තිබෙන අතර මාස හයක සහන කාලයක් ද ඇතුළුව මාස 24ක් දක්වා ණය ආපසු ගෙවීමේ කාලයක් සහිතව වසරකට සියයට 4ක පොලී අනුපාතයක් යටතේ කාරක ප්‍රාග්ධන ණය සැපයීමට මෙම යෝජනා ක්‍රමය ඔස්සේ පහසුකම් සලසා තිබෙන බවද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

More articles

Latest article