27.3 C
Colombo
බදාදා, මැයි 22, 2024

ISIS මතය දැරූ 124කගේ ලැයිස්තුවක් CIDයට දුන්නා – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන

Must read

ඉස්ලාමීය රාජ්‍යයක් බිහි කිරීමේ අන්තවාදි “අයි එස් අයි එස්” මතය දැරූ සහරාන් වැනි පුද්ගලයන් 124 දෙනකුගේ ලැයිස්තුවක් 2019 ජනවාරි 29 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (සීඅයිඩීයට) දී තිබූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා කොළඹ මහාධිකරණයේ සාක්ෂි දෙමින් පැවසීය.

රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානියා ලෙස බුද්ධි තොරතුරු ආරක්ෂක ලේකම්වරයාට හා පොලිස් පතිවරයාට ලබාදෙන බවත්, 2019 ජනවාරි මස සිට අප්‍රේල් මාසය දක්වා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ආරක්ෂක මණ්ඩලය රැස්නොවූ බවත් ජයවර්ධන මහතා පැවසීය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට අපොහොසත් වී යැයි පවසමින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විත්තිකරුන්ට එරෙහිව නීතිපතිවරයා පැවරූ නඩු දෙක කොළඹ ත්‍රි පුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේ පැමිණිල්ලේ සාක්ෂි දෙමින් එසේ පැවසීය.

කොළඹ මහාධිකරණ විනිසුරුවන් වන නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැදිගේ හා මොහොමඩ් ඉර්ෂඩීන් මහත්වරුන් ඉදිරියේ සාක්ෂි විමසීම කළ අතර පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලිප පීරිස් මහතා හා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා සාක්ෂි මෙහෙයවීය.

පූජිත් ජයසුන්දර මහතාට එරෙහි නඩුව උදය වරුවේ පැවැති අතර හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුව සවස් වරුවේ පැවැත්විණි.

පැමිණිල්ලේ සාක්ෂිවලට පිළිතුරු දුන් නිලන්ත ජයවර්ධන මහතා මෙසේද පැවසීය.

“රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත තොරතුරු නිලධාරින් ගණනාවක් ඉන්නවා. මූලස්ථානයට අමතරව ප්‍රාදේශීය මධ්‍යස්ථාන 103ක් ක්‍රියාත්මකයි. අපේ නිලධාරීන් එක්රැස් කළ තොරතුරු අනුව අයි එස් මතවාදය වෙනුවෙන් පවුල් කීපයක පිරිස් සිරියාවට ගොස් තිබුණා. 2017 මාර්තු වෙනකොට 94ක පිරිසක් ඊට එක්ව තිබුණා. 2015න් පසුව සිරියාවට නොගොස් මෙරට සිට ජිහාද් පුරුදු කරන්න එම මතවාදීන් කටයුතු කළ බවට තොරතුරු තිබෙනවා. 2015 සිට 2019 වන විට අයි එස් තස්ත්‍රවාදය ගැන වාර්තා 340ක් මා ලබාදී තිබෙනවා. සහරාන් ගැන රිල්වාන් ගැන තොරතුරු දැනුම් දී තිබෙනවා. සිරියාවට ගිය සියලු දෙනා මධ්‍යම පළාතේ අය බව සටහන් වෙනවා. සහරාන්ගේ බේස් එක වුනේ කාතන්කුඩි ප්‍රදේශයයි. මේ තොරතුරු ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා. ක්ෂණික ප්‍රතිචාර දැක්විය යුතු බුද්ධි තොරතුරු පොලිස්පතිවරයාට දැනුම් දෙනවා. මා ආරක්ෂක ලේකම්වරුන් හයක් සමඟ කටයුතු කර තිබෙනවා.”

විත්තිකරුවන් දෙදෙනා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ මිනී මැරීම හා 300 වගන්තිය යටතේ මිනී මැරීමට තැත් කිරීමට අදාළව මෙම අධි චෝදනා ඉදිරිපත් කර ඇත. විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් ,නීතිඥ රෝෂාන් දෙහිවල, නීතිඥ දුලාන් මිරිහාන, නීතිඥ ප්‍රියංග ගුණරත්න, නීතිඥ නිර්මල කොඩිතුවක්කු මහතා ඇතුළු පිරිසක් පෙනී සිටියහ.

More articles

Latest article