25 C
Colombo
සඳුදා, මැයි 20, 2024

සහරාන් ගැන දුන් තොරතුරු බුද්ධි රැස්වීමේදී සාකච්ඡාවට ගත්තේ නෑ – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන

Must read

තවුහිද් ජමාද් සංවිධානයේ මොහොමඩ් සහරාන් ප්‍රමුඛ අන්තවාදින්ගේ ප්‍රහාරයක් මෙරට ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලයට හා සිද්ධස්ථානවලට එල්ලවිය හැකි බව හිටපු ආරක්ෂක ලේකම්වරයාට හා හිටපු පොලිස්පතිවරයාට දැනුම් දී තිබුණ ද බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමේදී එය සාකච්ඡාවට නොගත් බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා කොළඹ ත්‍රි පුද්ගල මහාධිකරණයේ දෙවැනි දිනයට සාක්ෂි දෙමින් ඊයේ(24) පැවසීය.

2019 අප්‍රේල් 08 දින එම තොරතුර ජාතික බුද්ධි ප්‍රධානි වෙත ද දැනුම් දුන් බව පැවසු ජයවර්ධන මහතා පසු දින(09) ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමෙදී එය කතා නොකළ බව ද සඳහන් කළේය. දිවයිනේ ස්ථාන අටකට ප්‍රහාර එල්ල කළ තවුහිද් ජමාද් සංවිධායේ ස්වයං ඝාතකයන් වන සහරාන් හසිම් ඇතුළු තස්ත්‍රයන් පිළිබඳ නිවැරදි බුද්ධි තොරතුරු ලැබී තිබියදී 2019 අප්‍රේල් 21 වැනි පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාර වැළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් මීනි මැරීමට තැත් කිරීම හා ඊට අධාර අනුබල දීම ඇතුළු දණ්ඩ නීති සංග්‍රහය යටතේ වන අධි චෝදනා 855ක් යටතේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා පැවරූ නඩු දෙකෙහි සාක්ෂි දෙමින් එසේ පැවසීය.

කොළඹ මහාධිකරණ විනිසුරුවන් වන නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැදිගේ හා මොහොමඩ් ඉර්ෂඩීන් මහත්වරුන් ඉදිරියේ සාක්ෂි විමසීම සිදු කළේය. පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලිප පීරිස්, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහත්වරු අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන් නිලන්ත ජයවර්ධන මහතා මෙසේද පැවසීය. බුද්ධි සම්බන්ධිකරණ රැස්වීම 2019 අප්‍රේල් 09 දින ආරක්ෂක ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් තිබුණා. ඊට ජාතික බුද්ධි ප්‍රධානි යුද හමුදා නිලධාරීන්, පොලිස්පතිතුමා යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ ඇතුළු නිලධාරින් සහභාගි වුණා.

ප්‍රහාරයක් එල්ලවන බවට ලද බුද්ධි තොරතුර මා ඊට පෙර දින ආරක්ෂක ලේකම්වරයාට යොමුකර තිබුණා. එය ජාතික බුද්ධි ප්‍රධානි වෙතද යොමු කළා. ජාතික බුද්ධි ප්‍රධානිවරයා අතෙහි මගේ දැනුම් දීම තිබෙනවා මම දැක්කා. රැස්වීම ඉවර වූ පසු මා එය ඔහුගෙන් ඇහුවා. “ඕක මහ ලෙඩක්. අතේ තියාගෙන ඉන්න ඕන එකක් නෙවෙයි , මොකද ලේකම් තුමා කිව්වේ කියලා.“

විනිසුරු මඩුල්ල.-ඔබට ඒ ගැන විමසන්න බැරිද?

අපිට පුළුවන් තොරතුරු ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බුද්ධි තොරතුරු ලබා දෙන්න පමණයි. නියෝග දෙන්න අපිට බැහැ. නමුත් මම මගේ බුද්ධි නිලධාරින් ඒ වන විටත් නැඟෙනහිර පළාතට යවා තිබුණා. ඔවුන් එදින කොළඹට පැමිනීමට නියමිතව තිබුණා.

විනිසුරු මඩුල්ල.-රැස්වීමේදී කතා කරන්නේ බුද්ධි තොරතුරක් ලෙස තහවුරු වූ කරුණු ද, මේ තොරතුරු බුද්ධි තොරතුරක් ලෙස ඒ වන විට වාර්තා වී තිබුණ ද ?

සාක්ෂිකරු -බුද්ධි තොරතුරක් ලෙස තහවුරුව තිබුණේ නැහැ.

අධිකරණය -බුද්ධි තොරතුරක් ලෙස තහවුරු නොවූ කරුණු රැස්වීමෙදි කතාකරන්න ආරක්ෂක ලේකම්වරයාට පුළුවන්ද ?

සාක්ෂිකරු -ඒ වන විට සහරාන් ගැන තොරතුරු අනෙකුත් බුද්ධි අංශ මගින්ද රැස්කර තිබුණා. ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලයට හා සිද්ධස්ථානවලට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට විදෙස් තොරතුරු ද ලැබී තිබුණා. මේ තොරතුරු මා පොලිස්පතිවරයාට ද යොමුකළා. පසුව මම නැඟෙනහිර පළාතට තොරතුරු හොයන්න ගියා. අප්‍රේල් 16 දින පැවතීමට නියමිතව තිබූ බුද්ධි සම්බන්ධිකරණ රැස්වීම නොපැවැත්වෙන බවට මට පණිවිඩයක් ලැබී තිබුණා.

රාජ්‍ය බුද්ධි සේවය නිරන්තරයෙන් සහරාන් ඇතුළු තවුහිද් ජමාද් සංවිධානයේ අන්තවාදි පිරිස් ගැන බුද්ධි තොරතුරු රැස්කළා. එම තොරතුරු පොලිස්පතිට, ආරක්ෂක ලේකම්ට හා ක්ෂණික ප්‍රතිචාර දැක්විය යුතු තොරතුරු සී අයි ඩී යට පවා යොමු කළා. අයි එස් අයි එස් මත දැරූ සහරාන්ලාගේ අන්තවාදි කල්ලිය 2023 වර්ෂය වන විට මෙරට ඉස්ලාමීය රාජ්‍යයක් ස්ථාපිත කරන බවට වන ඡායාරූප කීපයක් පොලිස්පතිවරයාට 2018 දෙසැම්බර් මාසයේ යොමු කළා. එම ඡායාරූප සහරාන් ඇතුළු කල්ලියේ පරිගණක මගින් ලබාගත්තා. නෙළුම් කුලුන උඩ එසවූ ධජයක අරාබි අකුරෙන් ඔවුන්ගේ රාජ්‍ය බිහිකිරීම ගැන සංකේත පලකර තිබුණා. අන්තවාදි රාජ්‍යයක් 2023 වනවිට ගොඩනඟන බව එහි අන්තර්ගත වුණා. මේ ඡායාරූප ඔස්සේ වැඩිදුර පරික්ෂණ කරන්න පුළුවන් හින්දා පොලිස්පතිවරයාට යොමු කළා. අධිකරණය-මේ ලිපියෙන් පරික්ෂණ කරන්න කියලා ඉල්ලීමක් කර නැහැ නේද? මේක විමර්ශන ප්‍රගතිය දැනුම් දීමක් වගේ නේද?

ස්වාමීනි අප දිගින් දිගටම සහරාන්ලා ගැන තොරතුරු ඉදිරිපත් කර තිබෙනවා. මුලින් සහරාන්ලාගේ අන්තවාදි කල්ලියේ 94 දෙනකුගේ නම්, ලිපිනයන්, හැඳුනුම්පත් අංක සහිතව ඉදිරිපත් කළා පසුව 2019 ජනවාරි 29 දින124 දෙනකුගේ ලේඛනයක් ඉදිරිපත් කළා. එම ලේඛනයේ මුලින්ම සඳහන් වන ජමීල් කියන තස්ත්‍රවාදියා තමයි කොළඹ හොටලයකට ගොස් බෝම්බය පුපුරුවා ගන්න බැරිව පසුව දෙහිවල එය පුපුරුවා හැරියේ. ඒ වගේ අනෙකුත් සියලු ස්වයං ඝාතකයන්ගෙන් වැඩි පිරිසක් අපි ඉදිරිපත් කළ ලේඛනයේ සඳහන් වෙනවා. මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත නවුෆර් මවුලවි ඇතුළු පිරිස්ද මේ ලේඛනයට ඇතුළත් වුණා. නැඟෙනහිර ලොකුම ආයුධ සොයාගත්තේ අපේ තොරතුරු අනුවයි.

More articles

Latest article