27.9 C
Colombo
සඳුදා, මැයි 27, 2024

ඉකුත් මාසයේදී කෝටි 7,200ක් හොර පාරෙන් රටට ඇවිත්

Must read

පසුගිය මාසයේදී රුපියල් කෝටි 7200ක (රු.බිලියන 72) මුදලක් නීති විරෝධී මාර්ගවලින් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සැක පළ කරයි.

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මෙරටට ලැබෙන විදේශ විනිමය මේ වසරේ නොවැම්බර් මාසයේදී රුපියල් කෝටි 6000කින් (ඩොලර් මිලියන 300) අඩු වී ඇති බවත් ඊට ‍ හේතු වී ඇත්තේ ඒවා නීත්‍යනුකූල ‍නොවන මාර්ගවලින් මෙරටට එවීම නිසා දැයි සැක පහළ වී ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කළේය.

කොළඹ කොටුව පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ පෙරේදා (4) පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් අධිපතිවරයා මේ බව කියා සිටියේය. එහිදී වැඩි දුරටත් කරුණු දැක් වූ අධිපතිවරයා, නීත්‍යනුකූල මාර්ගයෙන් මෙරටට විදේශ මුදල් එවීමේදී එක්සත් ජනපද ඩොලර් එකකට අවම වශයෙන් පසුගිය මාසයේදී රුපියල් 200ක් ගෙවූ අතර, නීත්‍යනුකූල නොවන මාර්ගයෙන් මෙරටට මුදල් එවීමේදී එක්සත් ඩොලර් එකකට රුපියල් 240ක වටිනාකමක් කළුකඩ හරහා ගෙවා තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයි ද අධිපතිවරයා සඳහන් කළේය.

මෙලෙස ඉහළ මිලක් දෙමින් එක්සත් ජනපද ඩොලර් නීත්‍යානුකූල නොවන මාර්ගවලින් මෙරටට එවීම වැළැක්වීමට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද අධිපතිවරයා කීවේය.

සැකසහිත ගනුදෙනු සිදු කරන අයගේ බැංකු ගිණුම් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය මඟින් පරීක්ෂණයට භාජනය කරමින් අවශ්‍ය නම් අත්හිටුවා හෝ තහනම් කර නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේදී ක්‍රියාකරන බවත් දැනටමත් එවැනි ගිණුම් කිහිපයක් අත්හිටුවා ඇති බවත් අධිපතිවරයා සඳහන් කළේය. විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් තම ඥාතීන්ට මුදල් එවී‍ෙම්දී නීත්‍යානුකූල මාර්ග ඔස්සේම සිදු කරන ලෙසත් ඒ සඳහා ඔවුන් දැනුවත් කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලීමක් කළ අධිපතිවරයා, එවැනි ක්‍රියාමාර්ග ගන්නා අයට බැංකු ණය ගැනීමේදී ප්‍රමුඛතාව දීම, ණය මුදල් කඩිනමින් දීම, රක්ෂණ ක්‍රම ක්‍රියාත්මක කිරීම, විශ්‍රාම වැටුප් ක්‍රියාත්මක කිරීම වැනි ආකර්ෂණීය ක්‍රියාමාර්ග ගන්නා බවද කීවේය. වසරකට ශ්‍රී ලාංකිකයෝ ඩොලර් බිලියන 7ක මුදලක් මෙරටට එවති. එය මේ වසරේ පමණක් නොව පසුගිය වසර දෙක තුළ අඩුවීමක් දක්නට ලැ‍ෙබ්. මෙලෙස විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් මෙරටට ලැබෙන විදෙස් මුදල් අඩුවීම රටේ ආර්ථිකයේ කළමනාකරණ කටයුතුවලට විශාල අභියෝගකාරී තත්ත්වයක් මතු කරන බව පැහැදිලි කළ අධිපතිවරයා ඒ නිසා වැඩි වශයෙන් විදේශ මුදල් ගෙන්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග ගණනාවක් හැඳිනගෙන ක්‍රියාවට නංවා ඇතැයි ද කීවේය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරු, සහකාර අධිපතිවරු, දෙපාර්තමේන්තු ප්‍රධානීහු සහභාගි වී සිටියහ.

More articles

Latest article