චීන රජය ප්‍රදානය කළ කොවිඩ් මර්දන එන්නත් තොගය චීන තානාපති චී.ජෙන්හොන් මහතා විසින් අද (31) දහවල් කොළඹ බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපොළේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය.
ජනාධිපතිතුමා චීන ජනාධිපති ෂී ජිං පින් මැතිතුමාගෙන් කළ ඉල්ලීම අනුව එන්නත් තොගය ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරිණ. චීනයේ බීජිං අගනුවර ජාතික බයෝටෙක් ඖෂධ සමාගම “සිනොෆාම්” කොවිඩ් මර්ධන එන්නත නිෂ්පාදනය කර තිබේ. එන්නත් මාත්‍රා ලක්ෂ 06 රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල් 869 දරණ ගුවන් යානය අද (31) පෙ.ව 11.28 ට බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළට ළගා විය.
ගුවන් යානයේ විශේෂ ශීතාගාරයක් තුළ ගබඩාකර, රැගෙන ආ එන්නත් තොගය ගුවන්තොටුපොළ ගුවන් ගැල් ගම්මානයේ ශීතාගාර තුළ ගබඩා කෙරේ. අනතුරුව ශීතාගාර සහිත වාහනවලින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මධ්‍යම එන්නත් ගබඩා සංකීර්ණය වෙත රැගෙන යාමට සැලසුම් කර ඇත. මෙරට සිටින චීන ජාතිකයන්ට එන්නත දීම ලබන සඳුදා සිට ආරම්භ කෙරේ. ශ්‍රී ලාංකීය ජනතාවට එන්නත් ලබාදීම විශේෂඥ කමිටුවක අධ්‍යයනයෙන් පසු සිදු කෙරෙන බව ඖෂධ නියාමන අධිකාරිය පවසයි.