25 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

වාර්ෂිකව එළවළු හා පලතුරු අස්වනු හානියෙන් මෙරට ආර්ථිකයට සිදුවන අලාභය රුපියල් බිලියන 20ක්

Must read

ජාතික විගණන කාර්යාලය 2015 දී සිදු කළ විගණනයකට අනුව වාර්ෂිකව එළවළු හා පලතුරු මෙට්‍රික් ටොන් 270,000 පමණ අපතේ යන බවත් එයින් මෙරට ආර්ථිකයට සිදුව ඇති අලාභය රුපියල් බිලියන 20ක් පමණ වන බවත් පසුගියදා පාර්ලිමේන්තුවේදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

එම වාර්තාවේ නිරීක්ෂණ අනුව, ශ්‍රී ලංකාවේ එළවළු හා පලතුරුවල පසු අස්වනු හානිය සියයට 30-40 ත් අතර ප්‍රමාණයක් බව අනාවරණයවී තිබේ.මෙරට වැඩිහිටියන්ගෙන් 73% ක් පමණ ප්‍රමාණවත් පරිදි එළවළු හා පලතුරු පරිභෝජනය නොකරන අතර , වයස අවුරුදු 5 ට වඩා අඩු දරුවන් ගේ මන්දපෝෂණ මට්ටම ද 21% පමණ වන බව තවදුරටත් මෙම වාර්තාව මගින් හෙළිදරව් වී තිබේ.එමෙන්ම කෘෂිකර්මයේ සමස්තය ආවරණය වන පරිදි සකස් කළ සම්මත කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවට නොමැති බවද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

2019 දී අවසන් වරට සකස් කර ඇති දේශීය කෘෂිකාර්මික ප්‍රතිපත්තිය ද මේ වන විට පවතින්නේ කෙටුම්පත් මට්ටමේ බවත්, දේශීය හා විදේශීය වෙළද පොළ ඉලක්ක කරගත් කෘෂිකාර්මික ප්‍රතිපත්තියක අවශ්‍යතාවය පිළිබදව ද කෝපා කමිටුවේ අවධානයට ලක්විය. ඉහත කරුණු අනාවරණය වූයේ ශ්‍රී ලංකාවේ එළවලු හා පලතුරු සම්බන්ධව පසු අස්වනු හානිය අවම කිරීම හා සාධාරණ මිලට අලෙවිය සඳහා අදාළ රාජ්‍ය ආයතනවල මැදිහත්වීම පිළිබඳ වූ කාර්‍ය සාධන විගණන වාර්තාව සාකච්ඡාවට ලක් කළ අවස්ථාවේදී ය.

එසේම, මෙම කමිටුවේ සාමාජිකයින්ගේ අවධානය යොමු වූ තවත් වැදගත් ක්ෂේත්‍රයක් වන්නේ, දේශීය ගොවියා සහ පාරිභෝගිකයන් යන දෙපාර්ශවයටම ගැටලුවක් වන අතරමැදියන්ගේ අසීමිත ලාභ ඉපයීම වැළැක්වීමට සහ මෙරට එළවළු හා පලතුරු පසු අස්වනු හානිය අවම කිරීම මෙන්ම කෘෂි නිෂ්පාදන සාධාරණ මිලට අලෙවි කිරීම සඳහා කඩිනම් වගා සැලැස්මක අවශ්‍යතාවයයි.මෙහිදී ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර ඉල්ලුම සපුරාලීමට දිවයිනම ආවරණය වන පරිදි සකස් කරන ලද පුළුල් වගා සැලැස්මක් නොමැති වීම හේතුවෙන් ගොවීන් ඔවුන්ගේ රුචිකත්වය පරිදි වගා කටයුතු වල නියැළීම නිසා ඇතැම් බෝග වල අතිරික්ත අස්වැන්නක් ඇතිවීමෙන් අස්වනු හානියට හේතුවක් වී ඇති බවද කෝපා කමිටුවේ සාමාජිකයින් ගේ අවධානයට යොමු විණි.

More articles

Latest article