කොවිඩ් රෝගීන් 3500කට ආසන්න පිරිසක් දිනකදී වාර්තා වුවද, එවැනි තුන්ගුණයක් සමාජයේ සිටිය හැකි බව කොරෝනා මර්දන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
ඒ අනුව සමාජයේ සිටිය හැකි මෙම පිරිසෙන් කොරෝනා ආසාදනය තවදුරටත් පැතිරීම සීග්‍ර විය හැකි බවත්, මේ අලුත් කොරෝනා ප්‍රභේදයෙන් මරණ තව තවත් වැඩි විය හැකි බවත් ඇය සදහන් කළාය.
මේ හේතුවෙන් ජනතාව අනිවාර්යෙන්ම වගකීමෙන් කටයුතු කළ යුතුව ඇති අතර, අනිවාර්යෙන්ම සති දෙකක් හෝ රට වසා දැමිය යුතු බවට විශේෂඥ වෛද්‍යවරියක වශයෙන් තමන් නිර්දේශ කරන බව ද ඇය පැවසුවාය.
මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඇය වැඩිදුරටත් මෙසේ පැවසුවාය. “ඊයේ තුන් දහස් පන්සියයක රෝගීන් සංඛ්‍යාවක් දෛනික දත්ත වාර්තා වෙනවා. හැබැයි සමාජයේ මීට වඩා රෝගීන් ඉන්න පුළුවන්. 3,500ක් වාර්තා වෙනවා කියන්නේ ඒ වගේ තුන් ගුණයක් විතර සමාජයේ ඉන්න පුළුවන්. මේ අයගෙන් තවදුරටත් සමාජය තුළ පැතිරීම සිදුවෙන්න පුළුවන්. ජනතාවට ගෙවල්වලට වෙලා ඉන්න කිව්වත්, ඔත්තේ ඉරට්ටේ දවස්වල යන්න කිව්වත් ජනතාව වැඩි වශයෙන් පාරවල්වල ඉන්නවා. පාරවල් හිස්වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නෑ. මේ පැතිරීම වළක්වා ගන්න නම් ගෙදරටම වෙලා ඉන්න ඕනේ. මේ වසංගතය ගැන තොරතුරු ජනතාවගෙන් වසන් කරන්න ගියොත් අපිත් වසන් වෙලා යයි.“