27.5 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

කරුංකා ප්‍රතිඅපනයනයට ව්‍යාජ ලේඛන සැකසු රේගු නිලධාරියෙකු අත්අඩංගුවට

Must read

ඉන්දුනීසියාවේ සිට මෙරටට ආනයනය කරන ලද කරුංකා කන්ටේනර් 23ක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත බවට පවසමින් ඉන්දියාවට ප්‍රතිඅපනයනය කිරීමට පරිගණක ආශ්‍රයෙන් ව්‍යාජ ලේඛන සකස් කළ රේගු දෙපාර්තමේන්තුවේ, සහකාර රේගු අධිකාරීවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ ඒකකය මඟින් දැනට මාස කිහිපයකට පෙර මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබු බවය.

එම විමර්ශනය 2020 වසරේ අගෝස්තු මස සිට ඔක්තෝබර් දක්වා වු කාලය තුළ සිදුකර ඇති බවත්, එහිදී රුපියල් මිලියන 300ක් වටිනා කරුංකා කන්ටේනර් 23 සම්බන්ධයෙන් විමර්ශනය කර සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එම සිදුවීම සම්බන්ධයෙන් කූඨ ලේඛන සැකසීමක් සම්බන්ධයෙන් අනාවරණය වී තිබුණු බවත් එහිදී එම ලේඛන රේගු දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට අදාළව සිදුකර තිබු බවට අනාවරණය වු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඒ අනුව එම ව්‍යාජ ලේඛන සැකසු සහකාර රේගු අධිකාරීවරයා ඊයේ (12) දිනයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 29 හැවිරිදි වාද්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කෙසේවෙතත් මේ වන විට අදාළ නිලධාරියාගේ වැඩ තහනම් කර ඇතැයි වාර්තා වන බව ද පැවසු මාධ්‍ය ප්‍රකාශකවරයා, ඒ අනුව ඔහුට මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කටයුතු කරන බව ද පැවසීය.

More articles

Latest article