29 C
Colombo
බදාදා, මැයි 22, 2024

දෙමටගොඩ රුවන් කෝටි 700ක හෙරොයින් මෙරටට ගෙන්වා ඇතැයි අනාවරණය වෙයි

Must read

රත්රන් කිලෝ ග්‍රෑම් දෙකකට ආසන්න ප්‍රමාණයක් හා වාහන 4 ක් සමඟ පසුගිය දා (27) අත්අඩංගුවට ගත් මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන දෙමටගොඩ රුවන් නමැත්තා 2017 වසරේ සිට මේ දක්වා රුපියල් කෝටි 700කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වා ඇති බවට ආනවරණය වී තිබේ.

නීති විරෝධී දෙපළ සහ වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් සැකකරු පසුගිය 29දා අත්අඩංගුවට ගෙන තිබූ අතර සැකකරු විසින් උපයා ගත් දේපළ අතර රත්ත්‍රන් කිලෝ 01 ග්‍රෑම් 590ක්ද ඔහුගේ නිවසේ තිබී පොලිසීය විසින් සොයා ගෙන තිබේ.

ඊට අමතරව රුපියල් ලක්ෂ හත්සීයකට අධික වටිනාකමකින් යුතු රේන්ජ් රෝවර් රථයක්, රුපියල් ලක්ෂ තුන්සීයකට වැඩි වටිනාකමකින් යුතු ලෑන්ඩ් කෘෘෂර් ජීප් රථයක්, ලක්ෂ තුන්සිය තිහකට වැඩි බී.එම්.ඩබ්ලිව් වර්ගයේ කාර් රථයක්,රුපියල් ලක්ෂ හාරසිය අසුවකට වැඩි වටිනාකමකින් යතු බී.එම්.ඩබ්ලිව් වර්ගයේ අයි 08 වර්ගයේ කාර් රථයක්ද පොලිස් විමර්ශන නිලාධාරීන්ගේ භාරයට ගෙන තිබේ.

ඉන්දීය වෙරළ ආරක්ෂක නිලධාරින් විසින් පසුගිය අප්‍රේල් 10වන දින ශෂීලා දුව නමැති බහුදින යාත්‍රාවක් සහ එහි තිබූ හෙරොයින් කිලෝ 340ක් සමඟ සැකකරුවන් 05දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණි. මෙම බහුදින යාත්‍රාවේ තිබී හමුවූ සැටලයිට් දුරකථනය ඔස්සේ විමර්ශනය කිරීමෙන් අනතුරුව අනාවරණය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සිටින පුද්ගලයකුට මෙම හෙරොයින් තොගය යොමු කරන බවය. තවදුරටත් කරුණු තහවුරු කර ගැනීමේ දී අනාවරණය වී ඇත්තේ එම හෙරොයින් කිලෝ 340 දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි රුවන් යන පුද්ගලයෙක් වෙත යොමු කරන බවයි. ඔහුගේ නම ලෙස සිරිනායක පතිරණලාගේ රුවන් චමිල ප්‍රසන්න නොහොත් දෙමටගොඩ රුවන් වෙත මෙම හෙරෝයින් තොගය යොමු කරන බව අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. ඒ අනුව විමර්ශනයේ දී තවදුරටත් තහවුරුවී ඇත්තේ මොහු විවිධ ජාවාරම්වල නිරතවන පුද්ගලයකු බවත් මීට පෙර අවස්ථාවලදීත් මොහු විවිධ ආකාරයේ අපරාධවලට, මිනී මැරීම් වැනි අපරාධවලට සම්බන්ධ වු පුද්ගලයකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

සැකකරු 2017 වසරේ හෙරොයින් කිලෝ 280ක්, එම වසරේම හෙරොයින් කිලෝ 40ක්, 2018 වසරේ හෙරොයින් කිලෝ 200ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 200ක්, 2019 වසරේ හෙරොයින් කිලෝ 200ක් සහ අයිස් මත්ද්‍රව්‍ය 100ක් ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති බවට පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.

2019 වසරේ හෙරොයින් කිලෝ 200ක් මෙරටට ගෙන ඒමේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. 2019 වසරේ තවදුරටත් හෙරොයින් කිලෝ 200ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 05ක් හෂීස් කිලෝ 30ක් ඔහු ලංකාවට රැගෙන විත් ඇති බවට අනාවරණය වී ඇත. මේ වසරේ ඔහු අයිස් කිලෝ 21ක් මෙරටට රැගෙන විත් ඇතිබවද මේ වන විට අනාවරණය කරගෙන ඇත.

දෙමටගොඩ රුවන් යනු මරණ දඬුවම නියමව සිටින පාතාල කල්ලි සාමාජික දෙමටගොඩ චමින්දගේ සොහොයුරා ය.

අත්අඩංගුවට ගත් සැකකරු සතුව තවදුරටත් නිවාස, ඉඩකඩම්, වාහන තිබෙන බවට පොලිසියට තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් නීති විරෝධී දෙපළ සහ වත්කම් විමර්ශන කොට්ඨාසය මුදල් විශුද්ධීකරණ පනත යටතේ ක්‍රියාත්මක වෙමින් විමර්ශන ආරම්භ කර ඇත.

සැකකරු පෙරේදා (30) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම 05 වෙනිදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කර ඇත.

More articles

Latest article