31 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 13, 2024

ඩොලර් වලින් නිවාස මිලදී ගන්න විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට 10%ක වට්ටමක්

Must read

පවතින ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස නිවාස මිල දී ගැනීමේදී ඩොලර් මඟින් ගෙවීම් කළ හැකි නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.

ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය මධ්‍ය ආදායම්ලාභීන් වෙනුවෙන් ඉදි කළ නිවාස ව්‍යාපෘතිවලින් නිවාස මිල දී ගැනීමේදී ඩොලර් මඟින් ගෙවීම් කරන අයට 10%ක වට්ටමක් දීමට ද තීරණය කර තිබේ. විදෙස්ගත ලාංකිකයන්ට සහ ශ්‍රමිකයන්ට මේ අවස්ථාව හිමි වෙයි. නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරන මධ්‍ය ආදායම් නිවාස ව්‍යාපෘති දෙකක් මේ වන විට අවසන් කර තිබේ. එලෙස අවසන් කෙරුණු බොරැල්ල ඕවල් වීව් නිවාස ව්‍යාපෘතිය නිවාස ඒකක 608කින් සමන්විත වන අතර, අංගොඩ ලේක් රෙස්ට් ව්‍යාපෘතිය නිවාස ඒකක 500කින් සමන්විතයි.

මේ වන විට තවත් මධ්‍ය ආදායම් නිවාස ව්‍යාපෘති 12ක් ඉදි කෙරෙමින් පවතියි. එමඟින් සපුරාලන නිවාස අවශ්‍යතාව නිවාස ඒකක 3,667කි.

විධිමත් ආකාරයට බැංකු මඟින් විදෙස් මුදල් ප්‍රේෂණය කර ඇති විදෙස්ගත ශ්‍රමිකයන්ට මේ නිවාස ව්‍යාපෘතිවලින් නිවාස ගැනීමේදී ප්‍රමුඛතාව හිමි වන අතර විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් හා ශ්‍රමිකයන්ට ඩොලර් මඟින් මිල දී ගැනීමේ පහසුකම් සැලසීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ කළමනාකරණ මණ්ඩල අනුමැතිය ද හිමිව තිබේ. රටේ පවතින ඩොලර් අර්බුදයට පිළියමක් ලෙස ඩොලර්වලින් ගෙවීම් කර නිවාස ගැනීමේ නව ක්‍රමවේදය හඳුන්වා දුන් බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (05) අමාත්‍යාංශයේ පැවැති රැස්වීමකදී පැවසීය.

පවතින ආර්ථික තත්ත්වය තුළ නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබූ මධ්‍ය ආදායම් නව ව්‍යාපෘතීන් තාවකාලිකව නවතා තිබුණ ද ඒවා හැකි ඉක්මනින් යළි ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස අදාළ අංශ වෙත උපදෙස් දුන් බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

More articles

Latest article