30 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

දෙවැනි එලිසබෙත් මහ රැජන ලොව සියලු නායකයන්ට මහඟු ආදර්ශයක් – අස්ගිරි මහ නාහිමි

Must read

පොදුරාජ්‍ය මණ්ඩලයේ නායිකාව ලෙස එලිසබෙත් රැජන ලොව සියලු නායකයන්ට මහඟු ආදර්ශයක් දුන් බව අස්ගිරි මහ නායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමියෝ රැජනගේ අභාවය නිමිත්තෙන් ශෝක පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හට්න් (Sarah Hutton) මහත්මිය වෙත යොමු කළ එම ශෝක පණිවිඩයේ මෙසේද සඳහන් වෙයි.

දෙවන එලිසබෙත් රැජනගේ අභාවය පිළිබඳ බකිංහැම් මාලිගයේ නිල නිවේදනය ඔස්සේ දැන ගැනීමෙන් ශ්‍රී ලාංකීය ජනතාව මහත් ශෝකයට පත් වූහ. බ්‍රිතාන්‍ය රාජකීයයන්ව මෙරට ජනතාව ඉතා ගෞරවයෙන් සලකනු ලබන අතර, විශේෂයෙන්ම කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නව යුගයක් ගොඩනැඟීමට දායක වූ දෙවන එලිසබෙත් මහ රැජනට මෙරට ජනතා හදවත් තුළ විශේෂ ස්ථානයක් හිමිව තිබේ. කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය ඔස්සේ බොහෝ ගොවීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට නව ජීවන රටාවක් ලැබී තිබෙව බව නොරහසකි. එක්සත් රාජධානියේ පරිත්‍යාගයක් වන වික්ටෝරියා ජලාශය මඟින් ජලය සැපයීමත් සමඟ ඉඩම් හෙක්ටයාර් දහස් ගණනක් කෘෂිකාර්මික වශයෙන් ඵලදායී තත්ත්වයට පත්ව ඇත.

මහා බ්‍රිතාන්‍යය සහ ශ‍්‍රී ලංකාව අතර පවත්නා ද්වි පාර්ශ්වික සබඳතාවලට දීර්ඝ ඉතිහාසයක් තිබේ. මහා බ්‍රිතාන්‍යය අද පවතින අති නවීන රාජ්‍යයක් ලෙස ගොඩනැංවීමේදී දුන් දායකත්වය තුළින් මහ රැජනගේ ශ්‍රේෂ්ඨත්වය පිළිඹිබු විය. පොදුරාජ්‍ය මණ්ඩලයේ නායිකාව ලෙස ඇය ලොව සියලු නායකයන්ට ආදර්ශයක් ලබා දුන්නාය. 1954 දී හා 1981 දී මෙරට කළ සංචාරය අතරතුර ඇය දළදා මාලිගාවට ද පැමිණි අවස්ථා අපගේ මතකයේ තිබේ. මෙම ශෝකජනක මොහොතේ තුන්වන චාල්ස් රජු ඇතුළු මහා බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ සාමාජිකයන්ට සහ මහා බ්‍රිතාන්‍යයේ වැසියන්ට බලවත් සංවේගය අපි පළ කරමු.

More articles

Latest article