27.5 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ශ්‍රී ලංකාවට ලබා දුන් ණය අවලංගු කළ යුතුයි – ජාත්‍යන්තර විද්වතුන්

Must read

ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති රටවල් විසින් එම ණය මුදල් අවලංගු කර මේ අවස්ථාවේ රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට සහාය ලබා දිය යුතු බව ජාත්‍යන්තර විද්වතුන් පිරිසක් පවසති.

ලොව පුරා විසිරී සිටින විද්වතුන් 182 දෙනෙකු විසින් අත්සන් කරන ලද ලිපියක් මඟින් ඔවුන් පෙන්වා දෙන්නේ රටේ විදේශ ණයවලින් සියයට 40කට ආසන්න ප්‍රමාණයක් පුද්ගලික ණය හිමියන් සතු වන අතර, බොහෝ දුරට ඒවා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ස්වරූපයෙන් පවතින බවයි. කෙසේ නමුත් ඉහළ පොලී අනුපාත හේතුවෙන් ඔවුන් ණය ගෙවීමෙන් අඩකට වඩා වැඩි ප්‍රතිලාභයක් ලබා ගන්නා බව ද ඔවුන් පෙන්වා දෙති.

‘එවැනි ණය දෙන්නන් ඔවුන්ගේ අවදානම් ආවරණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ණය දීමට අවදානම් වාරිකයක් අය කළ අතර, එමඟින් ඔවුන් විශාල ලාභයක් උපයා ගත්තා. 2022 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවේ පළමු ණය පැහැර හැරීමට එය ද දායක වුණා. අවදානම් වාරිකය නිසා ඉහළ ප්‍රතිලාභ ලැබූ ණය දෙන්නන් එම අවදානමේ ප්‍රතිවිපාක ගැනීමට ද කැමැත්තෙන් සිටිය යුතුය’ යනුවෙන් මෙම විද්වත්හු පෙන්වා දෙති.

සුප්‍රකට ඉන්දීය අර්ථ ශාස්ත්‍රඥ ජයති ගෝෂ්, ලොව සුපතල ආර්ථික විද්‍යා ග්‍රන්ථයක් වන ‘කැපිටල්’ කතුවර තෝමස් පිකෙටි, ග්‍රීසියේ හිටපු මුදල් අමාත්‍ය යනිස් වරොෆාකිස් ඇතුළු ආර්ථික විශේෂඥයින් 182 දෙනෙකු නිවේදනයක් නිකුත් කරමින් මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කර තිබෙන අතර, බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පතේ ජාත්‍යන්තර කලාපය මඟින් අනාවරණය කළ පරිදි එම නිවේදනයෙන් ආර්ථික විශේෂඥයින් පෙන්වා දී ඇත්තේ මෙරට ණය අර්බුදයට විසඳුමක් ලබා ගැනීම විශේෂයෙන් වළක්වා ඇත්තේ ‘හෙජ්’ අරමුදල ඇතුළු පුද්ගලික ණය හිමියන් බවයි.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් විස්තීර්ණ ණය මුදලක් ලබා ගැනීමට අදාළව පැවැත්වෙන සාකච්ඡා මේ වන විට තීරණාත්මක අදියරකට එළඹී ඇති බව එම ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන අතර, මෙරට බාහිර ණයවලින් සියයට 50ක් පමණ වන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මිල දී ගෙන ඇති එම ණය හිමියන් මේ වන විටත් විශාල ලාභයක් උපයා ඇති බව ද ආර්ථික විශේෂඥ‍යෝ පෙන්වා දෙති.

ඔවුන් එම ලාභ උපයා ඇත්තේ අවදානම් සාධකය ද සහිතව බැවින් ශ්‍රී ලංකාව ණය ගෙවීම් නතර කිරීමේ ප්‍රතිඵලය ද විඳගත යුතු බව ඔවුන්ගේ අදහසයි. එමෙන්ම ශ්‍රී ලංකාවට වඩාත් කඩිනම් අවශ්‍යතාවක් ඇති මොහොතේ සිය වගකීම් ඉටු කරමින් නිසි ප්‍රතිචාර දැක්වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි බහුපාර්ශ්වික ආයතන ද අපොහොසත් වී ඇති බව ද සඳහන් කරති.

මේ නිසා ශ්‍රී ලංකාව විසින් ගෙවීමට ඇති ණය කපා හරිමින් හෝ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට සහාය වෙමින් ණය හිමියන් ඇතුළු සියලු පාර්ශ්වයන් ශ්‍රී ලංකාවට සහාය විය යුතු බව එම ආර්ථික විද්‍යාඥයින් කණ්ඩායම අවධාරණය කරති. මැසචුසෙට්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජයටි ගෝෂ් ඇතුළු විද්වතුන් පිරිසක් මෙම ලිපියට අත්සන් තබා ඇත.

More articles

Latest article