28.8 C
Colombo
ඉරිදා, මැයි 26, 2024

2022 වසරේ පෙට්‍රල් හා ඩීසල් ආනයනය සිංගප්පූරු සමාගමකට

Must read

එළඹෙන වසරේ මාස අටක කාලයක් පෙට්‍රල් හා ඩීසල් ආනයනය කිරීමට සිංගප්පූරුවේ විටෝල් ඒෂියා ප්‍රයිවට් ලිමිටඩ් සමාගම වෙත දිගුකාලීන කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව 2022 ජනවාරි මස 01 වැනි දින සිට 2022 අගෝස්තු මස 31 වැනිදා දක්වා කාලය තුළ එම කොන්ත්‍රාත්තුව දී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (26) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක, වැවිලි කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

ඒ අනුව ඩීසල් සල්පර් ප්‍රතිශතය 0.05 බැරල් 1,137,500ක් සහ ඩීසල් උපරිම සල්පර් ප්‍රතිශතය 0.001 බැගින් වු බැරල් 262,500ක් හා පෙට්‍රල් 92 බැරල් 1,341,000 සහ පෙට්‍රල් 95 බැරල් 459,000ක් ආනයනය කිරීමට අදාළ සමාගම වෙත කොන්ත්‍රාත්තු පිරිනැමීමට අනුමැතිය හිමි වූ බව ඒ මහතා කියා සිටියේය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි ලංසුකරුවන් වෙතින් ලංසු කැඳවා ඇති අතර ඒ අනුව ඇමැති මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි අදාළ සමාගම වෙත කොන්ත්‍රාත්තුව පිරිනැමීමට බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වූ බව රමේෂ් පතිරණ මහතා පැවසීය.

වර්තමානයේ දී ඉන්ධන හිඟයක් ඇති වේ යැයි ජනතාව අතර බියක් ඇතිවෙමින් තිබෙන බවත් එවැනි හිඟයක් වර්තමානයේ දී නැති අතර ඉදිරි කාලසීමාව තුළත් ඉන්ධන හිඟයක් ඇති නොවන බව ඉතාම වගකීමෙන් රජය හැටියට ප්‍රකාශ කරන බව සම කැබිනට් ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක මිල අද වන විට ඩොලර් 84ක් වෙලා තිබෙනවා. අපි බලයට එනකොට එහි මිල තිබුණේ ඩොලර් 45කට ආසන්නවයි. ඒ අනුව අවුරුදු දෙකක් ඇතුළත දෙගුණයකින් වැඩි වෙලා. ඒ නිසා තමයි ඉන්දියන් ඔයිල් සමාගම ඉන්ධන මිල වැඩි කරන්න කටයුතු කර තිබෙන්නේ. තාමත් ජනතාව පෙළෙන මේ පීඩනය නිසා අපි ලංකාවේ සිපෙට්කෝ ආයතනය තෙල් මිල වැඩි කරන්න තීන්දුවක් අරගෙන නැහැ. එම බර රජය මගින් දරා ගනිමින් පාඩු ලබමින් ජනතාවට දෙන්න රජය කටයුතු කරමින් සිටිනවා යැයි ද කීය.

More articles

Latest article