33 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

මහනුවර ඇසළ මංගල්‍යය අද ඇරඹේ

Must read

සතර මහා දේවලයන්හි කප් සිටුවීමෙන් මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අද (29) ආරම්භ වෙයි.

නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිව් මහා දේවාලයන්හි අද (29) අලුයම 3.03ට යෙදෙන සුබ නැකතට අනුව කප් සිටුවීමේ මංගල්‍යය සිදු කිරීමට නියමිතය.

මහනුවර ඇසළ පෙරහර කප් සිටුවීමේ මංගල්‍යය සඳහා අවශ්‍යය කප අලි ඇතුන් සහිත පෙරහරකින් අලුත්නුවර සිට මහනුවර විෂ්ණු දේවාලය දක්වා ඊයේ (28) පස්වරුවේ වැඩම කරවනු ලැබීය.

විෂ්ණු දේවාලයේදී කප කොටස් හතරකට කපා නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන දේවාල හතරට ලබා දෙයි. කප් සිටුවීමේ මංගල්‍යය සිදු කිරීමෙන් පසු ඇසළ පෙරහර වීදී සංචාරය කිරීමට ප්‍රථම දේවාල අභ්‍යන්තර පෙරහර පහක් පැවැත් වෙයි.

ප්‍රථම කුඹල් පෙරහර අගෝස්තු 2 දා වීදි සංචාරය අරඹයි. පුරා දින පහක් කුඹල් පෙරහර වීදි සංචාරය කිරීමෙන් අනතුරුව රන්දෝලි පෙරහර වීදි සංචාරය කිරීම අගෝස්තු 7 දා ආරම්භ වන බව දියවඩන නිලමේවරයා ප්‍රකාශ කළේය.

රන්දෝලි පෙරහර අගෝස්තු 7 සිට 11 දක්වා දින පහක් වීදී සංචාරය කරයි.

අවසන් රන්දෝලි මහ පෙරහර 11 දා රාත්‍රියේ වීදි සංචාරය කිරීමෙන් පසු සිව් මහා දේවාල පෙරහර ගැටඹේ තොටට ගොස් දිය කැපීමේ මංගල්‍යය සිදු කරයි. පසු දින දහවල් පෙරහර වීදී සංචාරය කිරීමෙන් පසු මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත් වන බව දියවඩන නිලමේවරයා පැවසුවේය.

More articles

Latest article