25 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

ජනපතිගේ කණින් රිංගා කාබනික පොහොර ආනයනය කිරීමේ ජාවාරමට සැරසෙන අයට ඉඩ නොදිය යුතුයි – ජාතික සංවිධාන එකමුතුව

Must read

ජනාධිපතිතුමා විසින් රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට තීන්දු කිරීමත් සමඟ නව කාබනික පොහොර වෙළෙඳපොළක් නිර්මාණය කිරීමට සහ ඒ මගින් ඒවා ආනයනය කිරීමේ ජාවාරමකට සූදානම් වන කූට වෙළෙඳුන් පිරිසක් සිටින බවත් ඔවුනට විරුද්ධ විය යුතු බවත් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා පවසයි. ජාතික පුවත් පතකට ලිපියක් සපයමින් දීර්ඝ පැහැදිළි කිරීමක යෙදෙන ඒ මහතා සඳහන් කරන්නේ අදාල තීන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා ඉටු කළ යුතු පූර්ව කොන්දේසි රාශියක් තිබෙන බවත් ඒ අතර ජනාධිපතිතුමාගේ කටින් වචනය පිටවූ සැනින් රජයට අයත් ලංකා පොහොර සමාගම කාබනික පොහොර මිළදී ගැනීම සඳහා දැන්වීම් පළ කිරීම මගින් ප්‍රශ්නය වැරදි කොනින් අල්ලා ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

සම්පූර්ණ ලිපිය

ජනාධිපතිතුමා විසින් රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතු බවට ගනු ලැබූ තීන්දුව සමඟ සමාජයේ බෙහෝ පාර්ශව වික්ෂිප්ත වූ බවක් දක්නට ඇත. පළමුවෙන්ම රටේ නායකයා විසින් එවැනි නිර්භීත සහ ධෛර්යමත් දේශපාලන තීන්දුවක් ගනු ඇතැයි කිසිවෙකු අපේක්ෂා නොකළ බවට කිසිදු සැකයක් නැත. අප රටේ දීර්ඝ කාලයක් රජය සහ විවිධ ස්වේච්ඡා සංවිධාන විසින් වස විස නැති ගොවිතැන පිළිබඳව රසායනික පොහොර අධෛර්යමත් කිරීම පිළිබඳව මතවාද ගොඩනැගූ අතර තෝරාගත් ගොවීන් සමඟ ප්‍රායෝගීකව වැඩසටහන් ආරම්භ කළ බව රහසක් නොවේ. එහෙත් එම ප්‍රවේශයන් සමස්ථ කෘෂි නිෂ්පාදන පද්ධතියට ආදේශ කිරීමට හැකියාවක් ලැබුණි. ඊට හේතුව පොහොර සහනාධාරය යටතේ ගොවියාට නොමිලේ හෝ සහන මිලට පොහොර ලබා දෙන අතර ඒවා අධෛර්යමත් කිරීම ප්‍රායෝගික නොවීමය.අනෙක් පැත්තෙන් ගත් විට කෘෂි රසායන අධි භාවිතය බරපතල මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට පොදු පිළිගැනීමක් ඇතත් මහා සමාජයෙන් ඒ පිළිබඳව විරෝධයක් මතු වන්නේ නැත.

ඒ නිසා එවැනි මහා පෙරළියක් නිෂ්පාදන පද්ධතිය තුළ මෙන්ම ගොවියාගේ මනෝභාවය තුළ තහවුරු කිරීම සඳහා රසායනික පොහොර භාවිතයට අදාළව සීමාවක් පැනවීම යනු අත්‍යවශ්‍ය පූර්ව කොන්දෙසියකි. එම සීමාව පැනවිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව වාද විවාද තිබිය හැකි වුවත් රජය එවැනි සීමාවක් පැනවීමට සූදානම් බව ප්‍රකාශයට පත් කිරීම යනු රටේ පැත්තෙන් පමණක් නොව ගොවියාගේ පැත්තෙන් ගත්විටද ප්‍රභල ජයග්‍රහණයකි. නමුත් ඒ බව සමාජයට මෙන්ම ගොවියාට ඒත්තු ගැන්වීම යනු ප්‍රභල අභියෝගයකි. ඊට හේතුව එම තීන්දුවට එරෙහිව විවිධ උවමනාවන් සහ හේතු මත සෘජුව හෝ වක්‍රව විරෝධතා දැක්වීමට බොහෝ පිරිස් බලා සිටීමය. එවැනි බාධක අතුරින් පළමුවැන්න යම් දේශපාලන පක්ෂ පටු දේශපාලන වාසි සඳහා ගොවීන් විරෝධතා ව්‍යාපාර වලට පෙළඹවීමය. එහිදී ඔවුන්ට රජය විදේශ විනිමය අර්බුදයක සිටින බැවින් විදේශ විනිමය ඉතිරි කර ගැනීම සහ පොහොර සහනාධාරය කපා දැමීම සඳහා මෙම පියවර ගත් බවට මතයක්
ගොඩනැගීමේ හැකියාව ඇත.

දෙවන බාධකය පනවනු ලබන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විශේෂයෙන්ම පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් බවට කිසිදු සැකයක් නැත. ජනාධිපතිතුමා සමඟ මුහුණට මුහුණ සාකච්ඡාවකදී ඔවුන් පියවරක් පසුපසට ගත්තද ප්‍රායෝගිකව ගැටළු මතුවන අවස්ථාවේදී ඔවුන් රසායනික පොහොර භාවිතය වෙනුවෙන් “යටි සිතින්” ක්‍රියාත්මක වන බවට සැකයක් නැත. ඔවුන් අතුරින් යම් පිරිස් පොහොර ආනයනයේදී ලැබෙන අයුතු වාසි නිසා ඊට පක්ෂපාතී විය හැකි වුවත් බහුතරය අවංකවම හරිත විප්ලවයේ දරුවන් ලෙස මොළ සෝදා ගැනීමට ලක්ව ඊට පක්ෂපාතී වන බව පිළිගත හැක.

ඒ සියල්ල එසේ කළ හැකි වන්නේ ප්‍රධාන තුන්වන සාධකයක් නිසාය. එනම් කෘෂිකර්ම නිලධාරීන් විසින්ම දීර්ඝ කාලයක සිට ගොවියාගේ මනස තුළ ගොඩනගා ඇති ආකල්ප පද්ධතියක් නිසාය. නිලධාරීන් සහ බහුජාතික කෘෂි යෙදවුම් අලෙවි සමාගම් විසින් ගොඩනගා ඇති ප්‍රභල මතවාදය අනුව රසායනික පොහොර සහ පළිබෝධනාශක භාවිතයෙන් තොරව වැඩි අස්වැන්නක් ලබාගත නොහැක. ඒ අනුව රසායනික පොහොර භාවිතය නැවැත් වූ සැනින් අස්වනු අඩුවී තමා අමාරුවේ වැටෙනු ඇතැයි ගොවියා විසින් කල්පනා කිරීම වැළැක්විය නොහැක. ඊට අමතරව පසුගිය කාලයේදී විශේෂයෙන්ම යහපාලන ආණ්ඩුව සමයේදී යම් ආයතන විසින් මහා පින්තූරය සැලකිල්ලට ගැනීමෙන් තොරව කුඩා ව්‍යාපෘති හරහා කාබනික වගාව ප්‍රචලිත කිරීමට ගනු ලැබූ උත්සහායන් අසාර්ථක වීම නිසා ගොවීන්ගේ විශ්වාසය බිඳ වැට්ටවීම පහසු වනු ඇත. එය හතරවැනි නිශේධාත්මක සාධකයලෙස සැලකිය හැක.පස්වැනි සාධකය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්තිමය පරස්පරය ලෙස සැලකිය හැක. ඔවුහු එක් පැත්තකින් බාහිර යෙදවුම් මත යැපෙන කෘෂිකර්මාන්තය ප්‍රචලිත කරන අතර අනෙක් පැත්තෙන් “හොඳ කෘෂිකර්ම පුරුදු” නමින් කාබනික වගාව ප්‍රචලිත කිරීමට උත්සහා කිරති. ඒ මඟින් යම් ඉහළ වටිනාකම් සහිත සුළු වෙළඳපොළක් ගොඩනැගුනද මහා සමාජය තුළ වස විස නැති ආහාර පරිභෝජනමය ප්‍රචලිත කිරීමට හෝ ඊට වටිනාකමක් ලබාදීමට සමත් වී නැත.

ඒ සියල්ලටම අමතරව සෑම ආණ්ඩුවක් විසින්ම ගොවියා නොසලකා හැරීම සහ ගොවියාගේ උනන්දුව හීන කිරීම නිසා ආණ්ඩු පිළිබඳව සහ කෘෂි නිෂ්පාදන පද්ධතියේ සාර්ථකත්වය පිළිබඳව ගොවීන් අතර සැක සංකා පහළ වී ඇත. දැන් පොහොර තහනම හරහා ඇඟිල්ලෙන් අනින්නේ වෙනත් හේතු රාශියක් නිසා අඩන්නට බලා සි්ටින ගොවියාගේ ඇසටය.එක් පැත්තකින් එළවළු වෙළඳපොළ තුල ආර්ථික මධ්‍යස්ථාන මඟින් නිර්මාණය කරඇති විකෘතිය නිසා එළවළු ගොවියා ජාවාරම්කාර වෙළඳුන්ගේ ගොදුරක් බවට පත් වී ඇත. ඒ තුල මිළ ස්ථාවරභාවයක් පවත්වාගෙන යාමට රජය අසමත් වී ඇත. එසේම සහල් සඳහා පාරිභෝගිකයාට රුපියල් 2 ක සහනයක් ලබාදීම සඳහා එනම් එක් වේලකට ශත 25 ක සහනයක් ලබාදීම සඳහා මරාගෙන මැරෙන ඇමතිවරු සිටින රටක ගොවියාට වී සඳහා කි.ග්‍රෑම් 1 කට රු. 60 ක සහතික මිළක් ලබාදිය යුතු බවට සටන් කරන ඇමතියකු නැත. ඒ නිසා ගොවියාගේ විශ්වාසය බිඳ වැටීම පිළිබඳව පුදුම විය නොහැක. එසේ විශ්වාසය පළුදුවූ විට ඔවුන් යම් දේශපාලන අරමුණු වෙනුවෙන් යොදා ගැනීම පහසු වේ. ඊට අමතරව වසාදැමූ ගොවිජන බැංකු නැවත විවෘත කරමින් ගොවියා ක්ෂුද්‍රමූල්‍ය වහල්භාවයෙන් ගලවා ගැනීම සඳහා පසුගිය ආණ්ඩු කිසිවක් ක්‍රියාත්මක නොවීම නිසා ගොවියාගේ ආකල්ප තව දුරටත් නරක අතට හැරීම වැළැක්විය නොහැක. ඒ සියල්ල සය වැනි නිශේධාත්මක සාධකය ලෙස සැලකිය හැක.

හත්වන නිශේධාත්මක සාධකය වන්නේ පස පිළිබඳව සහ ඊට බාහිරින් එකතු කරන ද්‍රව්‍ය වල දායකත්වය ගොවියා විසින් පමණක් නොව නිලධාරීන් විසින් පවා ගැඹුරින් තේරුම් නොගැනීමය. කෘෂි යෙදවුම් සමාගම් විසින් ගොඩනගා ඇති මතය අනුව පස යනු අජීවී මාධ්‍යයකි. එය යොදා ගනිමින් වගා කිරීමට නම් සියල්ල බාහිරින් එකතු කළ යුතුය. එම මතවාදය තුළ දීර්ඝ කාලීනව පසේ ජෛව ක්‍රියාකාරීත්වය රැක ගැනීම සහ ඊට පහසුකම් සැලසීම වෙනුවට සහනාධාර යටතේ ලැබෙන බාහිර යෙදවුම් එකතු කිරීම් මත යැපීමට ගොවියා පුරුදු වී ඇත. එවැනි ගොවීන් තුළ රසායනික පොහොර නැතිනම් ඒ වෙනුවට කාබනික පොහොර ලබාගන්නේ කෙසේ දැයි උභතෝකෝටිකයක් මතුවීම වැළැක්විය නොහැක. රසායනික පොහොර තහනමට එරෙහිව අදහස් දක්වන යම් විද්වතුන් සහ ගොවීන් අතර එම මතවාදයට අදාළව විශාල වෙනසක් දක්නට නැත. රටට ආනයනය කරන මෙ.ටො ලක්ෂ 10 ක් පමණ වන පොහොර තොගය නැවැත්වූ විට ඊට සරිලන පෝෂණය ලබාදීම සඳහා අවශ්‍ය වන කාබනික පොහොර මෙ.ටො ලක්ෂ 20 ක් ලබා ගත්තේ කෙසේ දැයි යම් විද්වතුන් අවංකවම ප්‍රශ්ණ කරති. එම ප්‍රශ්ණයද ජනාධිපතිතුමාගේ තීන්දුවට එරෙහිව ප්‍රහාරයක් සඳහා යොදා ගැනීමේ හැකියාව ඇත.

එවැනි තත්වයක් තුළ ජනාධිප්තිතුමා ගැඹුරු අධ්‍යනයකින් තොරව හෝ හැඟීම් බරව ගනු ලැබූ ඉතා වැදගත් දේශපාලන තීන්දුව අනතුරට ලක්වීම වැළැක්විය නොහැක. ඒ නිසා දැන් දීර්ඝ කාලයක් මෙවැනි තීන්දුවක් ගත යුතු බවට සිහින දකිමින් සිටි පිරිස් වලට ප්‍රභල කාර්යභාරයක් පැවරී ඇත. එහිදී පළමුවෙන්ම ජනාධිපතිතුමා විසින් ගනු ලැබූ තීන්දුව අගය කළ යුතු අතර ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතුය. නමුත් ඒ පිටුපස සිටිය හැකි කූඨ ජාවාරම්කාරයින්ගේ විශේෂයෙන්ම රසායනික පොහොර වෙනුවට ජෛව හෝ කාබනික පොහොර ආනයනය කිරීමට බලාසිටින ජාවාරම් කාරයින්ගේ උවමනාවන් ඉටු නොකිරීමට පරිස්සම් විය යුතුය. එම ක්‍රියාවලිය තුල පළමු කොන්දේසිය වන්නේ මෙම තීන්දුව කිසියම් දවසක කඩඉම් තීන්දුවක් ලෙස ගත යුතු බව පිළිගැනීමය. සහනාධාර යටතේ පොහොර ලබාදෙන අතර සහ පොහොර භාවිතය දිරිගන්වන ඊට පරස්පර ප්‍රතිපත්තියක් යටතේ රසායනික පොහොර භාවිතය අධෛර්යමත් කිරීම හෝ සීමා කිරීම කළ නොහැක. දැන් ජනාධිපතිතුමා විසින් එල්ල කරනු ලැබූ ගරිල්ලා ප්‍රහාරය මඟින් සියළු පාර්ශව වලට නැවත සිතීමට බලකෙරී ඇත. එම වාසිදායක තත්වය භාවිතා කරමින් රසායනික පොහොර භාවිතය සහ රසායනික පළිබෝධ නාශක භාවිතය මත ගොඩනගා ඇති යැපීම් මානසිකත්වයෙන් ගොවියා පමණක් නොව නිලධාරීන් පවා බේරා ගැනීම සඳහා යම් උපාය මාර්ගික සැලසුමක් අවශ්‍ය වේ.

ඉහත සඳහන් කළ ආකාරයට එවැනි උපාය මාර්ගික සැලසුමක පළමු කොන්දේසිය විය යුත්තේ කොන්දේසි විරහිතව ජනාධිපතිතුමාගෙන් තීන්දුව වෙනුවෙන් පෙනීසිටීමය. දෙවැන්න මෙම තීන්දුව අවසාන වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා වසර 03 ක සහන කාලයක් යෝජනා කිරීමය. විශේෂයෙන්ම රසායනික පොහොර වලින් මරණයට පත්කොට ඇති පසට නැවත ජීවය දීම සඳහා අවම වශයෙන් එවැනි කාලයක් අවශ්‍ය වේ. නමුත් පස සුරැකීම සහ සංවර්ධනය කිරීම සඳහා ගොවියා පෙළඹීම සිතන තරම් පහසු නැත. ඒ සඳහා බහු විධ ක්‍රියාමාර්ග අවශ්‍ය වේ. ඉන් පළමු වැන්න ඒ සඳහා ගොවියා දිරිමත් කිරීම මුල්කරගෙන මූල්‍යමය සහ වෙනත් මානසික දිරිගැන්වීම් ලබාදීමය. එහිදී ගොවියා සෘජුව මුණගැසී ලබා දෙන අධ්‍යාපනයට මුල් තැනක් ලබාදිය යුතුය. ලෝකයේ කිසිදු රටක නොමැති ආකාරයට අපගේ කුඩා රටේ බිම් මට්ටමේදී මහජනයා සමඟ ගැටෙන රාජ්‍ය නිලධාරීන් 05 දෙනෙකු මහජනයා විසින් නඩත්තු කරන බව රහසක් නොවේ. ගොවියාගේ ආකල්ප සහ හැසිරීම් රටේ සංවර්ධන අරමුණු සහ මහජන සෞඛ්‍ය සමඟ සෘජුව බැඳී ඇති බැවින් ගොවියාගේ ආකල්ප සහ හැසිරීම් වෙනස් කිරීම සඳහා ඒ සියළු නිලධාරීන්ට වගකීමක් ඇත.

එහිදී අධ්‍යාපනයට අමතරව මූල්‍යමය දිරිගැන්වීම් වඩා ඵලදායි වන බවට විවාදයක් නැත. ඒ සඳහා උදාහරණයක් ලෙස යම් කාලයක් සඳහා අවම වශයෙන් ලෙස වසර 3 ක් සඳහා පොහාර සහනාධාරය මුදල් ලෙස ගොවියාට ගෙවන බව ප්‍රකාශයට පත් කිරීමය. එවැනි ප්‍රවේශයක් ඉන්දුනීසියාව වැනි අප රටට වඩා දුර්වල රාජ්‍ය පාලන පද්ධතියක් සහිත රටවල් පවා පවත්වාගෙන යන බව රහසක් නොවේ. නමුත් එම මූල්‍ය ගෙවීම සෘජුව ගොවියා අතට ගෙවීම මඟින් ඒවා අවභාවිතා කිරීම වැළැක්විය නොහැක. ඒ සඳහා ද්විත්ව ප්‍රතිඵලදායක ක්‍රමවේදයක් භාවිතා කළ හැකිය. උදාහරණයක් ලෙස එම අරමුදල් හෙවත් පොහොරවල වටිනාකම ගොවිජන බැංකු හරහා ගොවියාට ගෙවිය හැක. ඒ මඟින් ගොවිජන බැංකුවට අවශ්‍ය ප්‍රාග්ධනය රු. මිලියන 50,000 ක් පමණ ලැබෙන අතර එම අරමුදල් චක්‍රීයව යොදා ගනිමින් ගොවියා ක්ෂුද්‍ර මූල්‍ය වහල් භාවයෙන් ගලවා ගැනීමේ වැඩපිළිවෙළක්ද දියත් කළ හැක. එම ක්‍රමවේදය තුල පොහොර සහනාධාරයේ අරමුදල් ගොවියාට ගෙවිය යුත්තේ පොහොර හෝ වෙනත් කෘෂි යෙදවුම් මිලදී ගැනීම සඳහා පමණි. ඉතිරි වන මුදල් ගොවියාගේ ඉතිරි කිරීම් ලෙස පවතින අතර එම මුදල් ගොවි ජන බැංකුවේ ප්‍රාග්ධනය බවට පත්වේ. එවිට ගොවියාට විකල්ප පාංශු සංරක්ෂණ සහ සංවර්ධන ක්‍රමවේද වලට යොමු වීම සඳහා අඩු වශයෙන් වසර 03 ක් සඳහා දිරි ගැන්වීමක් ලැබේ. එම කාලයට පසුව ගොවියාට ලබා දෙන සහනාධාර සෘජුව නිෂ්පාදනය දිරි ගැන්වීම සදහා උපාංගයක් ලෙස යොදා ගන්නේ කෙසේදැයි සංවාදයක් අවශ්‍ය වේ.

දෙවනුව පසුගිය සෑම රජයක්ම අනුගමනය කළ පාරිභෝගිකයා නැමැති විශේෂිත සත්වයෙකුට ආදරය කරමින් ගොවියා නොසලකා හැරීමේ ක්‍රියාවලියට තිත තැබිය යුතුය. ඒ තුළ පාරිභෝගිකයාට සහන සැලසිය හැක්කේ ගොවියා දිරිමත් කිරීම මඟින් නිෂ්පාදනය වැඩි කිරීම තුලින් පමණක් බවට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත යුතුය. ගොවියාගේ ගෙල සිරකොට පාරිභෝගිකයාට ලබාදෙන සහන ඉතා කෙටි කාලීන බව කාටත් වඩා හොඳින් බන්දුල ගුණවර්ධන ඇමතිතුමා විසින් ඔප්පු කොට ඇත. ඒ නිසා විශේෂයෙන්ම ගොවියාගේ විශ්වාසය තහවුරු කිරීම සහ දිනාගැනීම සඳහා වී සඳහා වන සහතික මිල කි.ග්‍රෑම් 1 කට රු. 60 ක් දක්වා වැඩි කළ යුතුය. ඒ මඟින් සහල් මිල අද පවතින මිලට වඩා වැඩි වන්නේ නැත. වී සඳහා රු. 60 ක මිලක් ගෙවිය යුතු පදනම යටතේ සහල් සඳහා තර්කානුකූල මිල සූත්‍රයක් හඳුන්වාදුන් විට අද වෙළඳපොළේ පවතින මිලට වඩා අඩු මිලකට පාරිභෝගිකයාට සහල් ලබාදිය හැකි බව ප්‍රායෝගිකව පෙන්විය හැක. දැන් පවතින්නේ පාරිභෝගිකයා සහ ගොවියා පමණක් නොව කුඩා මෝල් හිමියාද අසතුටට පත්වන ක්‍රමවේදයකි.

තුන්වනුව වැදගත් වන්නේ ගොවීන්ගේ ගොවිතැන් ක්‍රමවේද වෙනස් කරන එනම් කාබනික හෝ වඩාත් නිවැරදි ලෙස ස්වභාවික ගොවිතැන් ක්‍රම ප්‍රචලිත කිරීම සඳහා රජය මැදිහත් වීමය. ඉන්දියානු ආදර්ශය අනුව ඒ සඳහා වන මූලික උපායමාර්ගික ප්‍රවේශය වන්නේ බෝග වගාව සමඟ කිරි ගොවිතැන ඒකාබද්ධ කිරීම සඳහා දිරිගැන්වීම් ලබාදීමය. බෝග වගාවේ නියුක්ත ගොවීන් කෘෂි අපද්‍රව්‍ය සහ ස්වභාවික පරිසරයෙන් ලැබෙන ආහාර යොදා ගනිමින් කිරි ගොවිතැනට යොමු කිරීම සඳහා මූලික උපාය මාර්ගික කොන්දේසියක් සැපිරිය යුතුය. ඒ පිළිබඳව අවධානය යොමු කරනු ලැබුවේ 1970 දශකයේදීය. ජාතික පශුසම්පත් සංවර්ධන මණ්ඩලයට පොල් ඉඩම් අක්කර 30,000 කට වැඩි ප්‍රමාණයක් ලබාදී නව නීතිමය රාමුවක් හඳුන්වා දෙනු ලැබුවේ ජාතික කිරිගව අභිජනන ව්‍යාපෘතියක් මඟින් කිරි ගොවිතැන ප්‍රචලිත කිරීම සඳහාය. නමුත් අද එම ආයතන එම මූලික වගකීම අතහැර දමා කිරි ගව අභිජනනය වෙනුවට පාරේ යන මිනිසුන්ට කිරි තේ විකුණමින් සහ ආයතනයට ලබා දුන් ඉඩම් වල පොල් කඩාගෙන කමින් ජීවත් වීමට පුරුදු වී ඇත. එම තත්වය වෙනස් කිරීමද මූලික උපාය මාර්ගික උවමනාවකි.

ඒ අතර පස සුවපත් කිරීම සඳහා ජෛව පොහොර භාවිතය දිරි ගැන්වීම සඳහා ජාතික වැඩසටහනක් ආරම්භ කළ යුතුය. ඒ තුළ රසායනික පොහොර නොමැතිව නිෂ්පාදන පද්ධතිය පවත්වා ගත හැකි බව ගොවියාට ඒත්තු ගැන්විය හැක. ඒ සඳහා ලෝකයේ විවිධ අත්හදා බැලීම් සිදු කොට ඇත. ඉන්දියාවේ ශූන්‍ය අයවැය ගොවිතැන් ප්‍රචලිත කරන ආචාර්ය පලයකාර් ඒ අතුරින් ඉදිරියෙන්ම සිටියි. ඔහුට අනුව අක්කරයක පසට ජීවය දීම එක් ගවයෙකුගේ ගොම හා මුත්‍රා වලින් කළ හැක. ඒ අනුව බෝග වගාව සමඟ කිරි ගොවිතැන ඒකබාද්ධ කිරීම සඳහා දිරි ගැන්වීම් ලබා දීමේ වැදගත්කම පැහැදිළි වේ. එසේ පස සංවර්ධනය කිරීම මඟින් ඉතිරිකර ගත හැකි බාහිර යෙදවුම්වල වටිනාකමද ගොවියාගේ ආදායම එකතු වේ. එම ක්‍රියාවලිය සඳහා ගොවියාට අධ්‍යාපනය සහ තාක්ෂ‍්ණය ලබා දෙන කාලය තුළ දැනටමත් ජෛව පොහොර නිෂ්පාදනය කරන දේශීය සමාගම් සමඟ සාකච්ඡා කොට මිල අඩු කිරීම සහ නිෂ්පාදනය වැඩි කිරීම සඳහා රජය විසින් යම් දිරිගැන්වීම් ලබා දිය යුතුය.

ඒ සියල්ල සාර්ථක වන්නේ පස රන් මෙන් සුරැකිය යුතු බවට ගොවියා තුළ මනෝභාවයක් සකස් කිරීමෙනි. ඒ සඳහා පාංශු සංරක්ෂණ පනත සහ හදබිම අධිකාරී පනත වැනි විශේෂ භූ ගෝලීය ප්‍රදේශවලට අදාළවන පනත් ශක්තිමත් කිරීම ද අවශ්‍ය වනු ඇත. නමුත් වඩා වැදගත් වන්නේ අධ්‍යාපනය සහ දිරිගැන්වීම මඟින් අදාළ අරමුණු ඉටුකර ගැනීමය. එම ක්‍රියාවලිය තුළ සැම ගොවියෙකුටම තම ශරීරයේ තත්වයට සමාන ආකාරයට තමා ජීවත් කරවන පසේ සෞඛ්‍ය පිළිබඳව තත්ව පරීක්ෂණ වාර්තා ලබාදිය හැකි ක්‍රමවේදයක් සකස් කළ යුතුය. රජය විසින් පස පරික්ෂා කොට නයිට්‍රජන් පොස්ෆේට් සහ පොටෑසියම් ඌනතාවයන් පිළිබඳ වාර්තාවක් ගොවියාට ලබාදීම සඳහා පර්යේෂණාගාර පිහිටුවනු ලැබුවද එම වැඩසටහන කඩාවැටී ඇති බව ගොවීන්ගෙන්ම විමසා දැන ගත හැක. ගොවියාට තමාගේ ගොවිපළ සෞඛ්‍ය පිළිබඳ තක්සේරුවක් තිබේනම් අත්‍යවශ්‍ය ඖෂධ පමණක් ලබාදිය යුතු බවට එනම් ඌණතාවය සහිත රසායනික පොහොර පමණක් යෙදිය යුතු බවට ගොවියාගේ මනෝභාවය සකස් කළ හැක. ජෛව ගොවිතැන හෝ ස්වාභාවික ගොවිතැනට ගොවියා පෙළඹවීම සඳහා හෙවත් රසායනික පොහොර අධෛර්යමත් කිරීම සඳහා එම ප්‍රවේශය ඉතා වැදගත් වේ.

ඒ සියල්ලටම වඩා අද විපක්ෂයේ සිටින කෘෂිකර්ම විද්වතුන් යැයි කියන දේශපාලඥයින් සඳහන් කරන්නේ පිටරටින් ගෙන්වන බීජ වර්ග රසායනික පොහොර නොමැතිව වගා කළ නොහැකි නිසා රසායනික පොහොර තහනම් නොකළ යුතු බවය. ඔහුගේ කෘෂි විද්‍යා දැනුම ප්‍රශ්ණ නොකළද සම්ප්‍රදායානුකූල හෝ දෙමහුන් බීජ යන කුමන බීජ වර්ගයකට වුවද ජෛව විද්‍යාත්මක සරු පසක් තිබිය යුතු බවට විවාදයක් නැත. ඒ අනුව පස හොඳනම් බීජ කුමක් වුවත් ගැටළුවක් නොවන බව ඔහුට වඩා හොඳින් ගොවීන් ප්‍රායෝගිකව තේරුම්ගනු ඇති බවට සැකයක් නැත. එසේ වුවත් රසායනික පොහොර අධෛර්යමත් කිරීමේ උවමනාව සමඟ දේශීය බීජ නිෂ්පාදනය දිරිගැන්වීමද එකට බැදී ඇති බව පිළිගැනීමට සිදුවේ. ඒ අනුව ජනාධිපතිතුමා විසින් රසායනික පොහොර ආනයනය අත්හිටුවීමට ගනු ලැබූ නිර්භීත පියවර සේම විනාශයට පත් කර ඇති දේශීය බීජ නිෂ්පාදන වැඩසටහනට යලි පණ දීම සඳහා නිඳා වැටෙමින් සිටින කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට නියෝගයක් ලබා දෙන්නේ නම් මහා පින්තූරය සම්පූර්ණ වන බව කිව හැක.

එසේ වුවත් වස විස නැති ආහාර සඳහා පමණක් නොව කෘෂි නිෂ්පාදන පද්ධතිය බාහිර යෙදවුම් මත යැපෙන පරාධීන තත්වයෙන් ගලවා ගැනීම සඳහා එනම් මහා පින්තූරය සැබවින්ම සම්පූර්ණ කිරීම සඳහා තවත් සාධකයක් සැලකිල්ලට ගත යුතු වේ. ඒ පලිබෝධනාශක ඇතුළු කෘෂි රසායන භාවිතය දැඩි පාලනයකට යටත් කිරීමය. මනුෂ්‍යයකු ලෙඩ වූ විට ප්‍රතිජීවක එකපෙත්තක් හෝ මිලදී ගැනීම සඳහා වෛද්‍යවරයෙකුගේ නිර්දේශ අවශ්‍ය වේ. නමුත් මිනිසුන් දසදහස් ගණනක් ලෙඩ කළ හැකි පස, ජලය, ගංඟා ඇල දොල සියල්ල දූෂණය කරන පලිබෝධ නාශක ඕනෑම ප්‍රමාණයක් කට වචනයට මිල දී ගත හැක. ඊට අදාල පනත සකස්කොට ඇත්තේ මහා සමාගම් වල වෙළඳපොල ආරක්ෂා කිරීමට මිස පරිසරය හෝ පොදු මහජනයා ආරක්ෂා කිරීමට නොවේ. එම තත්වය වෙනස් කිරීම සඳහාද දැඩි පාලනයක් අවශ්‍යවේ.

කෙසේ වෙතත් රසායනික පොහොර ක්‍රමයෙන් අඩුකරන අතර කාබනික වගාක්‍රම ප්‍රචලිත කිරීමේදී අස්වනු අඩුවනු ඇතැයි ගොවියාගේ සිත් තුළ පැන නගින අවුල බේරීම සඳහා රජයේ විශේෂ මැදිහත්වීමක් අවශ්‍ය වේ. ඒ සඳහා සුදුසුම ක්‍රමවේදය වන්නේ සම්පූර්ණයෙන්ම කාබනික වගාක්‍රමයට මාරුවන ගොවීන් විශේෂයෙන් හඳුනා ගැනීම සහ ඔවුන්ට රජයේ පූර්ණ දායකත්වය සහිතව වගා රක්ෂණ වැඩසටහනක් හඳන්වා දීමය. ඊට අමතරව අවසාන වශයෙන් සඳහන් කළ යුතු අතුරු කරුණු කිහිපයක්ද ඇත. රටක් ලෙස අප මුහුණ දෙන මූලික අභියෝගය වන්නේ රසායනික පොහොර විශේෂයෙන්ම බැර ලෝහ සහිත පොහොර ආනයනය නතර කිරීමය. නමුත් දේශීයව බැර ලෝහ අඩංගු නොවන පොස්ෆේට් සහ පොටෑසියම් නිපදවීමේ බාධාවක් නැත. එප්පාවල පොස්ෆේට් නිධිය සහ බලංගොඩ පොටෑසියම් නිධිය ප්‍රඥාවන්ත ලෙස භාවිත කරන්නේ නම් ඉදිරි වසර 2500 ක කාලයකට එම සම්පත් සෑහෙන බව පැවසේ.

ඒ නිසා කාබනික හෝ ස්වභාවික වගාක්‍රම තුල දේශීයව නිපදවන පොස්ෆේට් සහ පොටෑසියම් මිශ්‍රණ සීමා සහිතව පාලනයකට යටත්ව භාවිතා කිරීමේ හැකියාව ඇත. නමුත් යූරියා හෙවත් නයිට්‍රජන් නිපදවීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යය යහමින් තිබුණද ඒ සඳහා යොදා ගන්නා තාක්ෂණය ඉතා සංකීර්ණ බැවින් ඒවා දේශීයව නිපදවීම සඳහා කරදර වීමට අවශ්‍ය වන්නේ නැත. විශේෂයෙන්ම කාබනික වගාක්‍රම තුල වැඩි වශයෙන් නයිට්‍රජන් ලබා ගැනීමේ හැකියාව තිබෙන බැවින් ඒවා රසායනිකව බාහිරින් එකතු කිරීමේ අවශ්‍යතාවයක් නැත. කාබනික පොහොර පිටතින් මිලදී ගෙන එකතු කිරීම වෙනුවට ඒවා ගොවිබිමේදී නිපදවන්නේ නම් ලැබෙන නයිට්‍රජන් ප්‍රමාණය 30% දක්වා වැඩි වන බව පර්යේෂණ මඟින් ඔප්පු වී ඇත. නමුත් නගර ආශ්‍රිත කසල මඟින් කාබනික පෙහොර නිපදවා බෙදා හැරීමේ වරදක් නැත. එසේ වුවත් වඩා දිරි ගැන්විය යුත්තේ
ස්වාභාවික ගොවිතැන් ක්‍රම තුල ගොවිපලේදීම කාබනික පොහොර නිපදවීමය. ඊට අමතරව දැනට සාන්ද්‍ර රසායනික පොහොර ලෙස නොව කැට පොහොර ලෙස ආනයනය කරනු ලබන පොහොර වර්ග ද තහනම් කළ යුතුය. ඒවායේ සක්‍රීය ද්‍රව්‍යය ඇත්තේ 20% පමණ වන අතර ඉතිරිය මැටි වැනි අක්‍රීය ද්‍රව්‍ය වේ. ඒ නිසා රසායනික පොහොර වෙනුවට ඒවා කාබනික පොහොර නාමයෙන් ආනයනය කිරීමේ ජාවාරම්වලටද ඉඩ නොතැබිය යුතුය.

එසේම මේ වන විට ජනාධිපතිතුමාගේ තීන්දුව කණ වැටුනු සැනින් පොහොර තොග සඟවා පසුව ඒවා හොර පාරෙන් වැඩි මිලට විකිණීමට බලා සිටින කූඨ වෙළඳුන්ගේ බලාපොරොත්තු සිඳ දැමීමද අවශ්‍ය වේ. අවසාන වශයෙන් කිව යුත්තේ ජනාධිපතිතුමාගේ තීන්දුව යථාර්තයක් බවට පත් කිරීමට නොහැකිවුවහොත් ගෝලීය කෘෂි රසායන මාෆියාවට සහ ඔවුන්ගේ කුලී කරුවන් ලෙස කටයුතු කරන නිලධාරි මාෆියාවට ප්‍රභල ජයග්‍රහණයක් අත්වන බවය. ඒ මගින් දීර්ඝ කාලීන සටනක් යළි ජයග්‍රහණය කළ නොහැකි ආකාරයට පරාජය වීමේ අනතුරක්ද මතුවේ.

වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර

More articles

Latest article