25.7 C
Colombo
සෙනසුරාදා, දෙසැම්බර් 3, 2022

කොරෝනා වසංගතය යනු ගෝලීය මට්ටමින් සිදු කෙරෙන ආර්ථික ඝාතන ක්‍රියාවලියක් – ජාතික සංවිධාන එකමුතුව

Must read

කොරෝනා වසංගතයට අදාළව කුමන්ත්‍රණ න්‍යායන් තුනක් පිළිබඳව විස්තරාත්මක අදහස් දක්වන දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ කොවිඩ්19 වෛරසය පාලනයට අදාළව යම් බළධාරින් කටයුතු කරණ ආකාරය පැහැදිළි කළ හැක්කේ කුමන්ත්‍රණ න්‍යායන් මගින් පමණක් බවයි. “කොරෝනා වසංගතය ගෝලීය ආර්ථික ඝාතක ක්‍රියාවලියක්ද?” යනුවෙන් ප්‍රශ්න කරමින් ඒ මහතා විසින් ජාතික පුවත් පතකට සවිස්තරාත්මක ලිපියක් සපයා ඇත. එම ලිපිය පහළින්….

කොවිඩ් වසංගත තත්වය හමුවේ ලෝකයේ ශක්තිමත් ආර්ථිකයන් පවා සෙලවීමට ලක්වී ඇති බව රහසක් නොවේ. යම් රටවල් විශේෂයෙන්ම චීනය, ජපානය සහ කොරියාව වැනි රටවල් ආර්ථික පාඩුව නොසලකා නිෂ්චිත අවස්ථාවල දැඩි තීන්දු ගැනීම මඟින් තත්වය පාලනය කොට ඇත. නමුත් ඉන්දියාව වැනි රටවල් පළමු වටයේදී දැඩි තීන්දු මත ක්‍රියා කළ ද පසුව ආර්ථිකය රැක ගැනීමේ උවමනාව ඉදිරිපත් කරමින් එම තීන්දු ලිහිල් කිරීම නිසා වඩා බරපතල අර්බුදයකට ගොදුරු වී ඇත. ඉන්දියාව පළමු රැල්ලේදී එකවර දින 30 ක කාලයකට සමස්ථ රටම “ලොක්ඩවුන්” කරනු ලැබීය. නමුත් පසුව ආර්ථිකයේ නාමයෙන් වඩා ලිහිල් ප්‍රතිපත්තියක්අ නුගමනය කිරීම නිසා වඩා බරපතල අර්බුදයක් කැඳවා ගෙන ඇත. එනම් දැඩි සීමා යටතේ රෝගය පාලනය කළා නම් ඇතිවිය හැකි ආර්ථික අර්බුදයට වඩා වැඩි අර්බුදයක් පාලනය නොකිරීම මඟින් කැඳවාගෙන ඇති බව පිළිගැනීමට සිදු වේ.

මෙම අත්දැකීම ශ්‍රී ලංකාවට ආදේශ කිරීමේදී බොහෝ සමානකම් දැකිය හැක. ශ්‍රී ලංකාවද පළමු වටයේදී ආර්ථිකයට යම් පමණක හානි සිදු කරමින් දැඩි තීන්දු ගනු ලැබීය. නමුත් දැන් ආර්ථිකය පිළිබඳ උපදේශකයින්ගේ උවමනාව මත දැඩි තීන්දු නොගැනීම නිසා දැඩි තීන්දු ගැනීම මඟින් සිදුවිය හැකි හානියට වඩා වැඩි හානියක් කැඳවා ගැනීමේ අනතුරක් මතු වී ඇත. එහිදී දැඩි තීන්දු යන හැඳින්වීම මඟින් ද තීන්දු තීරණ ගන්නා පුද්ගලයින්ට මානසික බාධක පැනවීමක් සිදු වේ. නමුත් දැඩි තීන්දු සහ “නැති” තීන්දු අතර තවත් බොහෝ තීන්දු තිබෙන බව පැහැදිළි කරුණකි. එනම් සම්පූර්ණයෙන්ම “ලොක්ඩවුන්” කිරීම සහ එසේ නොකිරීම අතර තව, බොහෝ
තීන්දු ප්‍රමාණයක් තිබෙන බවට පිළිගත යුතුය. මූලික වශයෙන් වැදගත් වන්නේ ජනයාගේ ගමන් කිරීම සීමා කිරීමය. ඒ සඳහා සති අන්ත පමණක් “ලොක්ඩවුන්” කිරීම, දිස්ත්‍රික්ක අතර ගමනාන්තය සීමා කිරීම, උත්සව සහ විනෝද චාරිකා සම්පූර්ණයෙන්ම තහනම් කිරීම, අත්‍යවශ්‍ය නොවන සේවාවන් පවත්වාගෙන යන කාල වේලා පිළිබඳ සීමා පැනවීම සහ වෛරසය ප්‍රරෝහය සීඝ්‍රයෙන් පැතිරෙන ප්‍රදේශ පමණක් හුදකලා කිරීම ආදී වශයෙන් ක්‍රියාමාර්ග රාශියක් තේරීමේ හැකියාව ඇත. ඊට අමතරව පී.සී.ආර් පරීක්ෂණ ප්‍රමාණය,විශේෂයෙන්ම අහඹු පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීම ආදිය ඊට සමාන්තරව සිදු කළ හැක.

නමුත් ඒ වෙනුවට ලොක්ඩවුන් කිරීමෙන් ආර්ථිකය වැටෙන බව කියමින් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම කාගේ උවමනාවක්ද යන්න පැහැදිළි නැත. මේ වන විට වෛද්‍ය සංගම් ඇතුළු වෛද්‍යවෘතික පාර්ශව 05 ක් පවතින තත්වය වෙනස් කොට දැඩි ලෙස සීමා පැනවිය යුතු බවට ඉල්ලා ඇත. නමුත් ඒවා මේ වන තුරු බරපතල ලෙස සැලකිල්ලට ගත් බවක් පෙනෙන්නේ නැත. රෝගීන් වැඩි වීමේ තත්වයට මුහුණදීම සඳහා ඇඳන් වැඩි කිරීමේ ක්‍රියාන්විතය ඉදිරියේදී පැමිණිය හැකි නරක තත්වයට මුහුණ දීම සඳහා ඉතා වැදගත් බවට විවාදයක් නැත. එහෙත් එම ඇඳන් වලට පැමිණෙන රෝගීන් ප්‍රමාණය අඩු කර ගැනීම සඳහා ප්‍රාථමික රෝග පාලන ක්‍රමවේද වලට දැනට වඩා ප්‍රමුඛතාවයක් ලබාදිය යුතු බව පිළිගත යුතුය. විශේෂයෙන්ම “රෝගබර” වැඩිවීමේදී
සෞඛ්‍ය කාර්යමණ්ඩලය විඩාවට පත් වීම මඟින් ඇඳන් ප්‍රමාණය වැඩි කළද නිසි ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි විය හැක. එවැනි තත්වයකදී එක් පැත්තකින් මරණ ප්‍රමාණය වැඩි වන අතර අනෙක් පැත්තෙන් ප්‍රාථමික රෝග පාලන ක්‍රියාවලිය අඩාල වීම මඟින් රෝගීන් ප්‍රමාණය වැඩි වීමද සිදුවේ. එය ක්‍රමනුකූලව විෂම චක්‍රයක් බවට පත්වනු ඇත.

විශේෂයෙන්ම බිම් මට්ටමේ අධීක්ෂණ ක්‍රියාවලියට නායකත්වය සපයන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ග්‍රාම නිලධාරී වැනි පිරිස්වල මානසික ශක්තිය කඩා වැටීම මඟින් ඉතා බරපතල තත්වයක් ඇතිවිය හැක. මුදල් වලින් සියල්ල වෙනස් කළ නොහැකි වුවත් ඔවුන්ගේ අමතර පිරිවැය පියවා ගැනීම සඳහා හෝ යම් අමතර මූල්‍ය ප්‍රතිපාදනයක් ඔවුන්ට ලබාදීම වැදගත් වේ. කෙසේ වෙතත් සෞඛ්‍ය සේවකයින්ගේ සහ මහජනයාගේ මානසික ශක්තිය සහ විශ්වාසය සියල්ලටම වඩා වැදගත් වන බව පිළිගත යුතුය. පවතින තත්වය තුළ පද්ධතියක්
ලෙස ක්‍රියා කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් මේ වන තුරු හඳුන්වා දී නොතිබීම බරපතල අඩුපාඩුවකි. දාහරණයක් ලෙස කොවිඩ් වසංගතය ඉතා හොඳින් පාලනය කළ බව කියන නවසීලන්තය වැනි රටක හඳුන්වා දී ඇති අනතුරු ඇඟවීමේ මට්ටම සහ එම මට්ටම් ප්‍රකාශයට පත් කිරීම සඳහා තිබිය යුතු නිර්ණායක මෙන්ම ඒ ඒ මට්ටම් වලදී කළ යුතු දේ සහ වගකීම් පැවරීම ආදී සියල්ල එක් ලේඛනයක් ලෙස ප්‍රකාශයට පත්කොට නීතිගත කොට ඇත. ඒ අනුව එක් එක් අවස්ථාව අනුව කළ යුතු දේ පිළිබඳව අහඹු ලෙස විවිධ මට්ටම් වල නායකයින්ගෙන් හෝ රටේ නායකයාගෙන් විමසීමට අවශ්‍ය වන්නේ නැත. නමුත් අප රටේ පොදු උපදෙස් හෙවත් සෞඛ්‍ය අධ්‍යාපන උපදෙස් වලට අමතරව යම් අවස්ථාවල උපදෙස් පත්‍රිකා නිකුත් කොට ඇතත් එවැනි විස්තීරණ මඟ පෙන්වීමේ ලේඛනයක් පිළිබඳව අදහසක් හෝ තිබෙන බවක් පෙනෙන්නේ නැත.

ඒ ආකාරයට වසංගතයට මුහුණදීමේදී තීන්දු ගන්නා ආකාරය ප්‍රශස්ථ මට්ටමකින් පවත්වාගෙන යාමට නොහැකි වී ඇත්තේ කුමක් නිසාදැයි නිශ්චිතව පැහැදිළි නැත. එහෙත් සෞඛ්‍ය උපදෙස් වලදී පවා පවතින දුර්වලතාවයන් පුදුම සහගතය. උදාහරණයක් ලෙස ප්‍රතිශක්තිය වැඩි කිරීම පිළිබඳව අදහස් දක්වන ප්‍රධානපෙළේ වෛද්‍යවරුන් පවා වසර දහස් ගණනක් ස්වශන රෝගවලට එරෙහිව ප්‍රතිශක්තිය වැඩි කිරීම සඳහා ගැමියන් විසින් භාවිතා කළ දේශීය ඖෂධ පිළිබඳව වචනයක් හෝ සඳහන් කරන්නේ නැත. ඔවුනට අනුව විවේක ගැනීම, සමබල ආහාර ගැනීම සම දුම් පානය නොකර සිටීම පමණක් ප්‍රතිශක්තිය වැඩි කිරීම සඳහා වැදගත් වේ. ඔවුන් ජන මතය සකස් කරන්නේ මූලික වශයෙන් එන්නත මත යැපීම සඳහාය. එන්නත හැර වෙනත් මඟක් නැති බව නිළ වශයෙන් ප්‍රකාශයට පත් වන්නේ එවැනි තත්වයක් තුළය. නමුත් කොවිඩ් පාලනයට
අදාළව සාම්ප්‍රදායානුකූල වෛද්‍යක්‍රම භාවිතයේ වැදගත්කම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා
ප්‍රකාශ නිකුත් කොට ඇත. චීනයේ ඊට අදාළ නිළ උපදෙස් නිකුත් කොට ඇති අතර එන්නත ලබාදීමට සමාන වටිනාකමක් ඒ සඳහා ලබා දී ඇත. නමුත් අප රටේ ඇඳන් ලබා ගැනීම සඳහා හෝ ආයුර්වේද රෝහල් වලට ඇතුල් කරන රෝගීන්ට දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා අවසර ලබා දීමට පවා බලධාරීන් මැලිවිය.

මෙම දීර්ඝ පූර්විකාව වැදගත් වන්නේ ගෝලීය මට්ටමින් කොවිඩ් වසංගතයට ආදාළව යම් කුමන්ත්‍රණකාරී ක්‍රියාවලියක් සිදුවනවාද යන්න පිළිබඳව ඉදිරිපත් වන සාක්ෂි සාකච්ඡාවට ලක්කිරීම සඳහාය. ලෝකයේ විවිධ විද්වතුන් සහ සංවිධාන පවතින තත්වයට අදාළව කුමන්ත්‍රණ න්‍යායන් ත්‍රිත්වයක් ඉදිරිපත්කොට ඇත. පළමු වැන්න එන්නත් සහ ඖෂධ වෙළඳපොළ පුළුල් කර ගැනීම සඳහා මහා සමාගම් විසින් පරීක්ෂණාගාර වෛරසයක් පරිසරයට මුදා හැරීම සහ රෝගයේ බරපතල කම අතිශයෝක්තියෙන් සමාජගත කිරීම සහ දේශපාලනීකරණය කිරීමය. එම කුමන්ත්‍රණ න්‍යාය තහවුරු කිරීම සඳහා උදාහරණ රාශියක් ඇත. පළමු වැන්න 2009 දී සූකර උණ හෙවත් “HINI” පැතිරෙන අවස්ථාවේදී එම ඉන්ෆ්ලුවන්සා රෝගය ලෝක ජනගහණයෙන් තුනෙන් එකක් එනම් මිලියන 2000 ක් රෝගයට බිලිවන බවට විවිධ විද්වතුන් මාර්ගයෙන් විශාල ප්‍රචාරයක් ලෝකය පුරා ගෙන යනු ලැබීය. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද එම මතවාද තහවුරු කරනු ලැබීය. ඒ අනුව එන්නත් මිලියන 5000 ක් නිපදවිය යුතු බවට නිර්දේශ විය. ඉන් පසුව කුරුළු උණ හෙවත් “ස්වයින් ෆ්ලූ” වසංගතය පැතිරෙන අවස්ථාවේදී “ටැමි ෆ්ලූ” (Tamiflu) නැමැති ඖෂධය විකිණීමෙන් පමණක් එක් සමාගමක් විසින් (Ciba – Guigi) ඩොලර් මිලියන 20,000 ක ආදායමක් ඉපයු බව වාර්තා විය. එම ඖෂධ තොග බොහොමයක් විවිධ රටවල ගබඩා වල කල්ඉකුත් විය.

කුමන්ත්‍රණ න්‍යායන් අතුරින් දෙවන න්‍යාය වන්නේ ජෛව අවි ප්‍රහාරයක් යන්නය. එය පළමු කුමන්ත්‍රණය වූ වාණිජ ප්‍රහරයට වඩා ඉතා බලවත්වේ. ලෝකයේ ජෛව අවි ප්‍රහාර පිළිබඳව පර්යේෂණ සිදු කොට ඇති ලෙනාඩ් හොරොව්ට්ස් සහ සිග්මන්ට් ඩෙම්බෙක් ආදී විද්වතුන්ගේ නිබන්දන අනුව ජෛව අවි ප්‍රහාරයකදී විශේෂ ලක්ෂණ 4 ක් හඳුනාගත හැක. පළමු වැන්න රෝග කාරකය සහ රෝගය සාමාන්‍ය තත්වයන්ට වඩා සුවිශේෂි වීමය. දෙවැන්න රෝගය පැතිරීම පිළිබඳ වසංගත රෝග විද්‍යාත්මකව පැහැදිළි සාක්ෂි සොයා ගැනීම අපහසු වීමය. තුන්වැන්න යම් ජාතියකට හෝ ජනකොටසකට රෝගය දරුණු ලෙස බලපෑමය. හතරවැන්න රෝගය පැතිරීමේ මූලයන් බහුවිධ වීමය. මෙවැනි තත්වයක් තහවුරු කිරීම සඳහා විවිධ සාක්ෂි ඉදිරිපත් වී ඇත. චීන විද්වතුන්ට අනුව චීන ජාතිකයින්ගේ පෙනහළු වල යම් සෛල ප්‍රභේදයක් ඉතා පහසුවෙන් යම් වෛරස් ප්‍රභේද වල ප්‍රහාරයට ලක් වේ.

කොවිඩ් 19 වෛරසය චීනයේ වූහාන් වලින් පළමුව සොයා ගැනීමට පෙර ඇමෙරිකාවේ හමුදා අනුකණ්ඩයක සොල්දාදුවන්ට වැළඳුණු බව ඇමෙරිකාවේ ප්‍රසිද්ධ රෝග පාලන මධ්‍යස්ථානයේ ප්‍රධානියා විසින් පිළිගනු ලැබීය. ඒ 2019 ඔක්තෝම්බර් මාසයේදීය. ඉන් පසුව නොවැම්බර් මාසයේදී චීනයේ වූහාන් නගරයේ පැවති හමුදා සංදර්ශනයකට ඇමෙරිකානු හමුදා නිලධාරීන් 300 ක් සති දෙකක කාලයක් සහභාගී විය. ඉන්පසු දෙසැම්බර් මාසයේදී වූහාන් වලින් පළමු රෝගීයා හඳුනාගනී. මෙම සබඳතාවයන් පිළිබඳව නිෂ්චිත සාක්ෂි ඉදිරිපත් වී නැතත් කුමන්ත්‍රණ න්‍යාය තහවුරු කිරීම සඳහා ඒවා යම් පමණකට යොදා ගත හැක. එහෙත් එම වෛරසය ඒ වන විට චීනයට ආගන්තුක වුවද ඇමෙරිකාවට ආගන්තුක නොවූ බවට ඉහත සඳහන් කළ ආකාරයට ඇමෙරිකානු රෝග පාලන මධ්‍යස්ථානයේ (CDC) ප්‍රධානි රොබට් රෙඩ්ෆිල්ඩ් විසින් පිළිගෙන ඇත.

තුන්වන කුමන්ත්‍රණ න්‍යාය ලෝකයේ 1% විසින් සමස්ථ ලෝකය ආර්ථික වශයෙන් යටත් කෙරෙන මහා මෙහෙයුමකට අදාළ වේ. එනම් මහා සමාගම් ජාලයක් විසින් පවතින ලෝක පිළිවෙළ (worldorder) සොලවාදමා නව ලෝක පිළිවෙළකට සූදානම් කිරීම සඳහා සමස්ථ ලෝකයම අර්බුදයට ලක්කිරීමය. මේ පිළිබඳව ග්‍රන්ථයක් රචනා කරන ඉන්දියාවේ ගාන්ධි තුමා තරමටම ගෞරවයට පාත්‍රව සිටින ආචාර්ය වන්දන ශිවා මහත්මිය එය නම් කරන්නේ “එක් මහ පොළොවක් – එක්මනුෂ්‍යත්වයක් : 1% ට එරෙහිව” (One Earth – One Humanity’ vs 1% ) ලෙසය. ඇයට අනුව ඇමෙරිකාවේ මහා ධනකුවේරයා වන බිල් ගේට්ස් තාක්ෂණ අධිරාජ්‍යයක් ගොඩ නගමින් සිටියි. ඔහු මොන්සැන්ටෝ සමාගම අත්පත්කරගනිමින් සමස්ථ ලෝකයේම කෘෂි යෙදවුම් නිෂ්පාදන පද්ධතිය සහ වෙළඳපොළ පාලනය කිරීම සඳහා උත්සහා කරයි. ඇය එම අධිරාජ්‍ය හඳුන්වන්නේ ඩිජිටල් හෙවත් තාක්ෂණ අධිරාජ්‍යවාදය ලෙසය. ඇය විසින් ඔහු සමාන කරන්නේ මීට වසර 500 කට පෙර රටවල් සොයා ගන්නා බව කියමින් රටවල් ආක්‍රමණය කළ මුහුදු කොල්ලකාරයකු වන ක්‍රිස්ටෝපර් කොලොම්බස්ටය.

වන්දනා ශිවාට අනුව එම තාක්ෂණ අධිරාජ්‍යයේ පැවැත්ම සහතික කරනු ලබන්නේ මුහුණු පොතේ අයිතිකරුවෙකු වන සකර්බර්ග් විසින් නිර්මාණය කරන මානසික වහළුන්ය. එම අධිරාජ්‍ය තාක්ෂණය මත පදනම් වූ මානසික අධිරාජ්‍යයක්ය. එම අධිරාජ්‍යයේ සම්පත් හෙවත් දත්ත වලින් ලෝකයේ රටවල් වල ආණ්ඩු වෙනස් කිරීම සඳහා උපාය මාර්ග සකස් කෙරෙන බව බ්‍රිතාන්‍යයේ “කේම්බ්‍රිජ් ඇනලිටිකා” රහස් ගනුදෙනු වලින් ඔප්පු විය. ඒ අනුව බිල්ගේට්ස්ගේ තාක්ෂණික අධිරාජ්‍යයට බාධා නොකරන හෙවත් ඊට පහසුකම් සලසන ආණ්ඩු නිර්මාණය කෙරෙන්නේ සකර්බර්ගේ අධිරාජ්‍යයේ සැරිසරන මානසික වහළුන් විසිනි. වන්දනා ශිවාගේ
පැහැදිළි කිරීම් තුළින් තුන්වන කුමන්ත්‍රණ න්‍යාය තේරුම් ගැනීමට උත්සහා කළ හැක. කෝවිඩ් වසංගතය ජාන තාක්ෂණ ක්‍රියාවලියක් මඟින් ප්‍රචලිත කොට සමස්ථ ලෝකයම දණ ගස්වා තම අධිරාජ්‍යයට යටත් කිරීමේ මෙහෙයුම බිල්ගේට්ස්ගේ නිර්මාණයක් බවට සැක කළ හැකි සාක්ෂි සෑහෙන ප්‍රමාණයක් ඇත.

කොවිඩ් වසංගතය පැතිරීමට මාස තුනකට පෙර එනම් 2019 ඔක්තෝම්බර් මාසයේදී බිල් ගේට්ස් පදනම, ජොන් හොප්කින්ස් මධ්‍යස්ථානය සහ “පීර්බ්‍රයිට්” නැමැති අපකීර්තිමත් ඉතිහාසයක් ඇති ජෛව තාක්ෂණ අවි පිළිබඳ පරීක්ෂණ කරනු ලබන ආයතනයක් සමඟ එකට එක්ව “Event201” නමින් වසංගත අභ්‍යාසයක් පවත්වන ලදී. එය පවත්වනු ලැබුවේ කොරෝනා වෛරසයක් මඟින් ගෝලීය මට්ටමින් මහා වසංගතයක් ඇතිවුවහොත් සිදුවන බලපෑම තේරම් ගැනීම සඳහා තාක්ෂණික අනුකරණ අභ්‍යාසයක් ලෙසය. එම අභ්‍යාසය අනුව කොරෝනා වෛරසයක් ඒ ආකාරයට ප්‍රචලිත වුවහොත් මාස 18 ක් තුළ මිලියන 65 ක ජනතාවක් මිය යන බව පෙන්වා දෙනු ලැබීය. ඊට අමතරව ඊට මුහුණ දීම සඳහා කළ යුතු දේ මෙන්ම ඇති විය හැකි ආර්ථික සහ
දේශපාලන අර්බුද පිළිබඳවද එම මොඩලය මඟින් පෙන්වා දෙනු ලැබීය. එසේ නම් බිල්ගේට්ස් පදනම විසින් ජෛව අවි පිළිබඳ පර්යේෂණයක් සඳහා එනම් නව කොරෝනා වෛරසයක් පිළිබඳව පර්යේෂණ කිරීම සඳහා මුදල් යොදවා ඇති බව පැහැදිළිය. බිල්ගේස්ට් පදනම 2012 සිට වෛරස පිළිබඳ පර්යේෂණ සදහා මුදල් යොදවන බව එම ආයතනය විසින් පිළිගෙන ඇත. ඒ අනුව තුන්වන කුමන්ත්‍රණ න්‍යාය නිමා බව එනම් නව අධිරාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා වන පූර්ව කොන්දේසියක් සපුරා ගැනීම සඳහා ජෛව අවි ප්‍රහාරයක් ලෙස වර්තමාන කොරෝනා වසංගතය නිර්මාණය කළ බවට සාධාරණ තර්කයක් ඉදිරිපත් කළ හැක. එවැනි තත්වයක් තුළ
ඉතා පැහැදිලිවම එය ගෝලීය ආර්ථික ඝාතක ක්‍රියාවලියක් ලෙසද හැඳින්විය හැක. එසේ වුවත් චීනය සහ රුසියාව දණ ගැස්වීමට බිස්ගේස්ට් ගේ අරමුදල් වලට හෝ වෛරස් වලට නොහැකිවී ඇති බව පිළිගැනීමට සිදුවේ.

කොවිඩ් වසංගතය පාලනය කිරීමේදී දක්නට ලැබෙන දුර්වලතා සමඟ ගැටගසා ආර්ථික ඝාතක උවමනාවන් පිළිබඳව කතිකාවක් නිර්මාණය කරන්නේ කුමක් නිසාදැයි යමෙකු ප්‍රශ්ණ කළ හැක. පළමුවෙන්ම එවැනි තත්වයන් පිළිබඳ ලෝක පරිමාණයෙන් පවතින සංවාදයෙන් බිඳක් අප රටේදී සිදු කිරීම වරදක් විය නොහැක. දෙවනුව වසංගතය පාලනය කිරීමේදී දක්නට ලැබෙන යම් දුර්වලතා පැහැදිළි කිරීම සඳහා සාධාරණ යුක්ති සහගත හේතු ඉදිරිපත් කිරීමට නොහැකි වීමය. උදාහරණයක් ලෙස එන්නත් නිපදවන චීනයේවත් නොකරන ආකාරයට එන්නත් හැර වෙනත් කිසිදු විකල්පයක් නොමැකි බවට විද්වත් මතයක් සකස්කොට සෙසු පාලන ක්‍රමවේද අවතක්සේරු කිරීමේ වරද පැහැදිළි කරන්නේ කෙසේද? විශේෂයෙන්ම දේශීය වෛද්‍ය ක්‍රම මඟින් ප්‍රතිශක්තිය වැඩිවන බවට වසර දහස් ගණනක් ප්‍රත්‍යක්ෂ ඥානයෙන් ඔප්පු වී තිබියදී ඒවා අවතක්සේරු කිරීම සහ ආයුර්වේද රෝහල් වලදී පවා කොරෝනා රෝගීන්ට දේශීය ප්‍රතිකාර ලබා දීමට ඉඩ නොදීම කාගේ උවමනාවක්ද? ඊට අමතරව ආර්ථිකය වැටෙන බවට භීතිකාවක් මවා පාමින් වසංගත තත්වය පාලනය කරගත නොහැකි මට්ටමට පත්කොට ආර්ථිකය ඊටත් වඩා වැටෙන තත්වයක් සඳහා උපදෙස් දෙන්නේ කවුද?

මේ සෑම ප්‍රශ්ණයකටම කුමන්ත්‍රණ න්‍යාය තුළින් උත්තර සෙවිය යුතු බවක් ඉන් අදහස් නොවේ. සමහර වැරදි තීන්දු වලට හේතුව යම් විද්වතුන්ගේ අධිපතිවාදී චින්තනය සහ ආකල්ප බවටද වාද කළ හැක. උදාහරණයක් ලෙස ලෝකයේ රටවල් 50 කට වැඩි ප්‍රමාණයක සයිනොෆාම් එන්නත භාවිතා කරන තත්වයක් තුළ සහ සයිනොෆාම් එන්නතට මාරු වීම සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත නතර කළ ඉන්දුනීසියාවෙන් එසේ ඉතිරිවන අතිරික්ත තොග ශ්‍රී ලංකාවට ලබා දෙන ලෙස ඉල්ලන තත්වයක් යටතේ දත්ත ලබා දීමේ ඌනතාවයක් පිළිබඳ නිදහසට කාරණා ඉදිරිපත් කොට සයිනොෆාම් එන්නතට අනුමැතිය ලබා නොදී සිටීමට යම් විද්වත් කමිටුවක් කටයුතු කළේය. පසුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණු පසු ඊට අනුමැතිය ලබා දුණි. සමහර විට දේශීය වෛද්‍ය ක්‍රමය අවතක්සේරු කරමින් දේශීය දැනුම් පද්ධතිය හෙළා දකින්නේද එවැනි අධිපතිවාදී මනෝභාවයක් නිසා විය හැක. ඊට අමතරව යම් දේශීය ඖෂධයක් වැරදි පර්යේෂණ ප්‍රවාදයක් මත ඉතා කුඩා නියැදියක් යොදා ගනිමින් සායනික පරීක්ෂණයකට ලක්කොට සමස්ථ දේශීය වෛද්‍ය පද්ධතියටම පහරදීම ආචාර ධර්ම විරෝධී ක්‍රියාවකි. මේ සියල්ල සිතා මතා ආර්ථික ඝාතකයින් විසින් සිදු නොකළද රටේ පැත්තෙන් ගත් විට දීර්ඝකාලීනව මහා ආර්ථික ඝාතනයක් සිදු වේ.

වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර

More articles

Latest article