29 C
Colombo
සඳුදා, මැයි 27, 2024

ඉකුත් මාස 11ට ශ්‍රී ලංකාව අපනයනයෙන් කෝටි 225,700ක් උපයයි

Must read

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුබෑමට ලක්ව තිබෙන ශ්‍රී ලංකා ආර්ථිකයට ශක්තියක් එක්කරමින් මේ වසරේ ගතවූ මාස 11ක කාලයේදී රුපියල් කෝටි 225,700ක (ඩොලර් මිලියන 11,285) ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙන අතර පසුගිය නොවැම්බරයේ පමණක් අපනයන ආදායම රු. කෝටි 24,640ක් උපයා ඇත.

පසුගිය 2020 වසරේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 10,077ක අපනයන ආදායමක් ශ්‍රී ලංකාවට ලැබී තිබෙන අතර ඒ අනුව එම වර්ෂයට සාපේක්ෂව මේ වසරේ දී අපනයන ආදායම ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩල වාර්තා පෙන්වාදෙයි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ වසරේ ඇතැම් මාසවල රට වසා දමා තිබුණ ද අඛණ්ඩව අපනයන ක්‍රියාවලිය සිදුව තිබෙන අතර මේ වසරේ ගතවූ සෑම මසකම අපනයන ආදායම ඩොලර් මිලියන 800 ඉක්මවා යාම විශේෂත්වයකි.

ගතවූ නොවැම්බර් මාසයේ දී මේ වසරේ වැඩිම අපනයන ආදායමක් හිමිව තිබෙන අතර එය ඩොලර් මිලියන 1,232ක් වන අතර මේ වසරේ අඩුම අපනයන ආදායම වන ඇමෙරිකානු ඩොලර් මිලියන 818 අප්‍රේල් මාසයේ දී වාර්තා වී තිබේ.

මේ වසර අවසානය වන විට තව දුරටත් මෙරට අපනයන ආදායම ඉහළ යනු ඇති අතර එය මෑත කාලයේ වැඩිම අපනයන ආදායම වනු ඇතැයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විශ්වාසය පළ කරයි.

කෙසේ වූවද මේ වසරේ ගතවූ මාස 11ක කාලයේ දී මෙරට ආනයන වියදම ඩොලර් මිලියන 18,262ක් පමණ වී තිබෙන අතර ඒ අනුව වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 6,977 ක් වී ඇත.

More articles

Latest article