27.3 C
Colombo
බදාදා, මැයි 22, 2024

මැතිවරණ අපේක්ෂක වියදම් පාලනයට නව නීති

Must read

මෙරට මැතිවරණ සංස්කෘතියේ යහපත් වෙනසක් ඇති කිරීමේ අරමුණින් මැතිවරණ අපේක්ෂකයන්ගේ වියදම් පාලනය සඳහා නව නීති කෙටුම්පත් සම්පාදනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ.

මෙම යෝජනාව මඟින්, මැතිවරණ වියදම් පාලනය කිරීම සඳහා වූ යෝජිත සංශෝධන සැකසීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම සිදුකෙරෙනු ඇතැයි ජනමාධ්‍ය ඇමැති, සම කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (30) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

ශ්‍රී ලංකාවේ සමානුපාතික මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක වූ 1977 වසරට පෙර මැතිවරණය සඳහා වැය වන වියදම් අඩු කිරීම සඳහා අවශ්‍ය නීති රීති පැවතියද, අවාසනාවකට සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වා දීමෙන් පසු එම නීති රීති මැතිවරණ පොතට ඇතුළත් නොවීම කනගාටුවට කරුණක් බවද ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා පැවසුවේ, බල්ලන් මරා හෝ මුදල් සොයා පළාත් පාලන ආයතනයකට, පළාත් සභාවකට හෝ පාර්ලිමේන්තුවට ඇතුළත් වීමට බොහෝ දේශපාලන පක්ෂවල අපේක්ෂකයන් කටයුතු කිරීම වලක්වා ගැනීමට මෙම යෝජනාව ගෙන ඒමේ අරමුණ බවයි.

සියලු දේශපාලන පක්ෂ ඒකමතික තීරණයකට පැමිණ මේ යෝජනාව ඉදිරියට ගෙන යනු ඇතැයි තමා විශ්වාස කරන බවද ඇමැතිවරයා මෙහිදී පැවසීය. එසේම, සමානුපාතික මැතිවරණ ක්‍රමයේ තිබෙන සාධනීය ලක්ෂණ ආරක්ෂා කර ගෙන, ජනතාව ඍජුව නියෝජනය වන මැතිවරණ ක්‍රමයක් ද මෙයට එකතු විය යුතු බව කී ඇමැතිවරයා, ඒ සියල්ල සම්පාදනය කිරීම හරහා අවසාන ප්‍රතිඵලය ලැබෙන බවද සඳහන් කළේය. මෙම යෝජනාව ආණ්ඩුවක් ලෙස තැබූ අනාගතවාදී ඉදිරි පියවරක් බවද කී ඇමැතිවරයා, විශේෂයෙන් ම මැතිවරණ ක්‍රම හා ජනතා නියෝජිතයන් පිළිබඳ හෙම්බත් වූ, අපේක්ෂා භංග කර ගත් ජනතාවක් සිටින රටකට මේ තීන්දුව හරහා නව බලාපොරොත්තු එක් කෙරෙන බවද පෙන්වා දුන්නේ ය. එසේම, 2017 වර්ෂයේ මේ පිළිබඳ කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගෙන තිබූ නිසා අනෙකුත් සාමාන්‍ය ප්‍රශ්නවලදී මෙන් බෙදීමක් ඇති කර නොගෙන, දේශපාලන පක්ෂ එක හඬින් මේ යෝජනාවට සහාය දෙනු ඇතැයි ද ඇමැතිවරයා විශ්වාසය පළ කළේය. මේ සඳහා මාධ්‍ය භාවිතාව ඇතුලේ වැඩි ඉඩක් ලබා දෙන ලෙස ජනමාධ්‍යයෙන් ද තමා ඉල්ලා සිටින බවත් ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා කීය.

විශේෂයෙන් ම, මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාත්, සිවිල් සංවිධාන හා බොහෝ දේශපාලන පක්ෂත් ඉහත යෝජනාව පිළිබඳ විශාල හඬක් මතුකළ බවත්, ඒ අනුව 2017 වර්ෂයේ එවකට කැබිනට් මණ්ඩලය ද මේ නීති අනුමත කළ බවත් පැවසීය. ජනාධිපතිතිවරයා මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ එහි ඉදිරි හා අවසන් පියවර ලෙස බවද පැවසූ ඇමැතිවරයා, ‘සාධාරණ මැතිවරණයක්’ නමැති සටන් පාඨය හැමදාමත් මතුකරමින් සිටි දෙයක් බවත්, ඒ සඳහා අවශ්‍ය පසුබිම මෙමඟින් නිර්මාණය වනු ඇති බවත් වැඩිදුරටත් පැවසීය.

‘ඡන්ද විමසීමකදී ජනතා කැමැත්ත ‍නිදහස් හා සාධාරණ ලෙස ක්‍රියාත්මක විය යුතු අතර, ඡන්ද විමසීමකදී කිසියම් අපේක්ෂකයකු, පක්ෂයක් හෝ කණ්ඩායමක් ජනතාවගේ ඡන්දය වෙනුවෙන් කිසිදු පාලනයකින් තොරව අධික ලෙස මුදල් වියදම් කරන්නේ නම් එමඟින් ජනතාවගේ කැමැත්ත කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇතිවිය හැකියි. ඡන්ද විමසීම්වලදී තරගවදින අපේක්ෂකයන් නැතහොත් පක්ෂ විසින් දරනු ලබන වියදම් පාලනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳ ශ්‍රී ලංකාව තුළ සාකච්ඡාවට භාජනය වී තිබෙනවා. ඉන්දියාව ඇතුළු බොහෝ රටවල් මැතිවරණ වියදම් පාලනය කිරීමේ නීතිරීති පනවා තිබෙනවා. ඒ නිසා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාව ඉතා වැදගත්’ යැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

More articles

Latest article