33 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

පළාත් පාලන මැතිවරණය ඇප තැන්පත් කිරීමේ කාලය අදින් අවසන්

Must read

පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට ලබාදී ඇති කාලය අදින් අවසන් වෙයි.

කෙසේ වෙතත් මැතිවරණ කොමිසම සඳහන් කළේ අද දහවල් 12.00 දක්වා ඇප මුදල් තැන්පත් කිරිමේ හැකියාව පවතින බවය.

ඊයේ දිනය වනවිට දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම් රැසක් ඇප මුදල් තැන්පත් කර තිබේ.

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා ලබන 21 වැනිදා දහවල් 12 දක්වා භාරගැනීමට නියමිතය.

ඊයේ දිනය තුළ දේශපාලන පක්ෂ 10ක් නාමයෝජනා භාරදී තිබේ.

ජාතික ජන බලවේගය මාතලේ, පුත්තලම, අනුරාධපුර, පොළාන්නරුව, බදුල්ල, මොණරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නාමයෝජනා භාර දී ඇත.

මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ ඊට අමතරව නිදහස් ජනතා පෙරමුණ , එක්සත් ජාතික නිදහස් පෙරමුණ තමිල්මක්කල් විඩුතලෛයි පුළිකල්, ජනසෙත පෙරමුණ, ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ එක්සත් සමාජවාදී පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් පළාත් පාලන ආයතන කිහිපයකට ඊයේ දිනයේ නාමයෝජනා භාර දී ඇති බවය.

මේ අතර ඇප මුදල් තැන්පත් කිරිම ආරම්භ වු දිනයේ සිට මේ දක්වා පළාත් පාලන මැතිවරණයට අදාළ පැමිණිලි 15ක් පමණ ලැබී ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ රාජ්‍ය බලය භාවිත කිරීම සම්බන්ධයෙන් සැලකිය යුතු පැමිණිලි සංඛ්‍යාවක් මේ දක්වා ලැබී ඇති බවය.

දේශපාලන නියෝජිතයන් කුමන ප්‍රකාශ සිදුකළ ද මැතිවරණ වියදම් නියාමනය කිරිමේ පනත් කෙටුම්පත සම්මත කිරිම හරහා ප්‍රකාශයට පත් කර ඇති පළාත් පාලන මැතිවරණයට බලපෑමක් එල්ල විය හැකි බවද රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙයි.

මැතිවරණ වියදම් නියාමනය කිරිමේ පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වු අතර එහිදි ඊට පක්ෂව ඡන්ද 97ක් සහ විපක්ෂව ඡන්ද 36ක් ලැබී තිබුණි.

ඡන්ද විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පැවසුවේ මෙම පනත් කෙටුම්පත සම්මත කිරීම හරහා මැතිවරණය ප්‍රමාද කිරීමේ උත්සාහයක ආණ්ඩුව නිරත වන බවය.

කෙසේවෙතත් මෙම පනත හරහා මැතිවරණය කල්දැමීමේ වුවමනාවක් රජයට නොමැති බව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා සඳහන් කළේය.

චාමර සම්පත් දසනායක රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් මැතිවරණ වියදම් නියාමනය කිරිමේ පනත් කෙටුම්පතට විරුද්ධව අදහස් දැක්වීම පදනම් විරහිත බවය.

More articles

Latest article