26 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව ජාතික සභාවේ සාකච්ඡාවට

Must read

විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන කිහිපයක් නියෝජනය කරන අධ්‍යක්ෂ මණ්ඩලය සහ නිලධාරීන් කැඳවා කරුණු විමසීම ජාතික සභාවේදී සිදු විය.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ, ජාතික සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (19) දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.

කැබිනට් මණ්ඩලයේ අනුමතිය සහිතව පසුගියදා ලංකා විදුලිබල මණ්ඩලය ගෙනආ විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාව පිළිබඳ මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඉක්මනින් තීරණයක් ලබාදීම සිදු කළ යුතු බව මෙහිදී විදුලිබල මණ්ඩලය නියෝජනය කරන නිලධාරීහු පෙන්වාදීම සිදු කළහ.

නමුත් මෙහිදී අදහස් දක්වමින් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේ පළමුව අවශ්‍ය ගණනය කිරීම් අවසන් කළ යුතු බවයි.

මේ අනුව මෙහිදී අදහස් දක්වමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය සහ මහජන උපයෝගීතා කොමිෂම සාකච්ඡා කොට අවසන් තීරණයක් ගත යුතු බවයි. එබැවින් එම සාකච්ඡාවන් සිදු කොට ලබන 24 දින නැවත මෙම සියලු පාර්ශ්ව ජාතික සභාව වෙත කැදවීමට මෙහිදී තීරණය කෙරිණි.

මීට අමතරව ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනුකාරක සභාවේ අවසන් වාර්තාවේ කෙටුම්පත එම කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක මහතා විසින් ජාතික සභාවට ඉදිරිපත් කිරීම ද මෙහිදී සිදු විය.

මේ සඳහා අමාත්‍යවරුන් වන ටිරාන් අලස්, කංචන විජේසේකර, නසීර් අහමඩ් රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.වී. චානක, (නීතීඥ) සිසිර ජයකොඩි, ඉන්දික අනුරුද්ධ, අනුරාධ ජයරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, පාඨලී චම්පික රණවක සහ ඒ.එල්.එම් අතාඋල්ලා යන මහත්වරු සහභාගී වූහ.

එසේම පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා සහ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් කුෂානී රෝහණදීර මහත්මිය ද සහභාගී වූහ.

More articles

Latest article