32 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

මැතිවරණය පැවැත්වීම පිළිබඳව පාර්ලිමේන්තුව තුළින්ම තීරණයක් ගත යුතුයි – කරු ජයසූරිය

Must read

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම උදෙසා නියමිත වේලාවට මැතිවරණ පැවැත්විය යුතු වුවත් අද රට පත්ව තිබෙන අභියෝගාත්මක තත්ත්වය හමුවේ මේ අවස්ථාවේ මැතිවරණයක් තිබිය යුතු ද නැද්ද යන්න සම්බන්ධව පාර්ලිමේන්තුව තුළින්ම සාකච්ඡා කර තීරණයක් ගැනීම වැදගත් යැයි හිටපු කථානායක, ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා පවසයි.

ජාතිය උදෙසා කළ උත්කෘෂ්ට සේවය අගයමින් ශ්‍රී ලංකාභිමාන්‍ය ගෞරව නාමයෙන් පිදුම් ලද කරු ජයසූරිය මහතා ඒ නිමිත්තෙන් මල්වතු අස්ගිරි මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට ඊයේ (07) මහනුවරට පැමිණි අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.

තවදුරටත් කරු ජයසූරිය මහතා මෙසේ පැවසීය.

මේ සම්බන්ධයෙන් අධිකරණය මඟින් ද 10 වැනි දින තීරණයක් දීමට නියමිතයි. එක පාර්ශ්වයක් මැතිවරණය තිබිය යුතුම යැයි කියද් දී තවත් පිරිසක් ඒ සඳහා මුදල් නොමැති යැයි පවසනවා. කෙසේ වුවත් පළාත් පාලන මැතිවරණයකින් ආණ්ඩුවක් වෙනස් කළ නොහැකියි.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සමාජය තුළ විවිධ මත තිබෙනවා. පළාත් පාලන මැතිවරණයකට වඩා මහ මැතිවරණයකට හෝ ජනපතිවරණයකට යොමු වීම වඩාත් යෝග්‍ය බවට මත ඉදිරිපත් වෙනවා. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර එකඟතාවකට පැමිණිය යුත්තේ පාර්ලිමේන්තුවයි.

පාර්ලිමේන්තුවේ කථානායක ධුරයට පත්වීමෙන් පසු තමන් දේශපාලනික වශයෙන් ස්වාධීන වුණා. 2015න් පසු තමන් සිරිකොත පක්ෂ කාර්යාලය පැත්තට ගියේ නැහැ.

සාර්ථක ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරත් දී තමන් මුදල්වලට වඩා රටට සේවයක් කරන්න අවශ්‍ය වුණා. හැකි සෑම මොහොතකම තමන් ඒ වෙනුවෙන් කටයුතු කළා. ඒ ඔස්සේ නව දේශපාලන සංස්කෘතියක් ඇති කරන්න හැකි වුණා.

රටට වැඩදායි ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට මුල් වී කටයුතු කළ මා හෘද සාක්ෂියට එකඟව කටයුතු කරමින් කිසිවකුට හෝ නින්දා පරිභව නොකර දේශපාලන ගමන ගෙන ගියා.

ජාතික ප්‍රශ්න කතා කරන නින්දා අපහාසවලින් තොරව සියලු දෙනා සාමූහිකව කටයුතු කරන ආදර්ශවත් තැනක් බවට පාර්ලිමේන්තුව පත්විය යුතුව තිබෙනවා. ඊළඟ මැතිවරණයේ දී කුමන පක්ෂයෙන් හෝ එවැනි ආකාරයට කටයුතු කළ හැකි පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමට ජනතාව උනන්දු විය යුතුයි.

දහතුන් වැනි සංශෝධනය ව්‍යවස්ථාවේ කොටසක්. එය බලාත්මක කිරීම මඟින් රට දෙකඩ වේ යැයි බියක් මහා සංඝරත්නය තුළද ඇතිව තිබෙනවා. එවැනි සැක බිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන් එකතු වී සාකච්ඡා කර මහා සංඝරත්නය දැනුවත් කළ යුතුයි.

රට ඉදිරියට ගෙන යෑමට නම් ජාතික හා ආගමික සමඟිය මෙන්ම දේශපාලන සමඟිය ද අත්‍යවශ්‍යයි. මේ බැරෑරුම් අවස්ථාවේ තාවකාලිකව හෝ දේශපාලන සමඟියක් ඇති කර ගැනීම වැදගත්.

More articles

Latest article