29 C
Colombo
බදාදා, මැයි 22, 2024

එක්නැලිගොඩ හඳුනන බව උසාවියේදී කියා සිටියේ සී.අයි.ඩී.ය බල කළ නිසයි – විශ්‍රාමික සාජන් මේජර් රන්බණ්ඩා

Must read

පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියනා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ තමන් කිසි දිනක දැක නැති බවත් ඔහු සමඟ කතාබහ කර හෝ කිසි දිනක ගිරතලේ හමුදා කඳවුරේදී හමු වී නැති බවත් ගිරතලේ යුද හමුදා කඳවුරේ විශ්‍රාමික සාජන් මේජර් රන්බණ්ඩා මහතා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ සාක්ෂි දෙමින් ඊයේ (16) පවසා සිටියේය.

එක්නැලිගොඩ මහතාව ගිරිතලේ හමුදා කඳවුරේදී හමු වූ බවට, කතාබහ කළ බවට හෝමාගම මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ දුන් සාක්ෂිය සම්පූර්ණයෙන් අසත්‍ය බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් තමන්ට ලියා දුන් කොළයක් පාඩම් කර එසේ ප්‍රකාශ කළ බවත් හෙතෙම පැවසීය.

එසේ ප්‍රකාශ නොකළහොත් වසර හතරක් පහක් සිරගත කරන බවට සී.අයි.ඩී. නිලධාරීන් ප්‍රකාශ කළ හෙයින් අසත්‍ය කරුණු මහෙස්ත්‍රාත් ඉදිරියේ පැවසූ බවත් සඳහන් කළේය. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු අධි චෝදනා යටතේ යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් පිරිසකට එරෙහිව ගොනු කර ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි ලබා දෙමින් රන්බණ්ඩා මහතා එසේ පවසා සිටියේය.

මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත සහ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ මේ නඩුව කැඳවීය. පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා ඇසූ ප්‍රශ්නවලට මෙලෙස පිළිතුරු දීම සිදු කෙරිණි.

පැමිණිල්ලේ සාක්ෂිකරු පැමිණිල්ලට හරස් වන සාක්ෂි ලබා දෙන බවත් එසේ හෙයින් විත්තිය අසන ආකාරයේ හරස් ප්‍රශ්න ඇසීමට අවසර දෙන ලෙසත් සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඊට අවසර ලැබීමෙන් පසුව ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් සාක්ෂිකරු තවදුරටත් සඳහන් කර සිටයේ සී.අයි.ඩී. නිලධාරීන්ගේ බලපෑම මත මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ බොරු ප්‍රකාශ දුන් බවය.

මේ සාක්ෂිකරු විසින් සී.අයි.ඩී.ය වෙත 2015 හා 2016 වසරවල ප්‍රකාශ පහක් හා මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇත්තේ එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කර ඇති බවට සනාථ කරන ප්‍රකාශ වේ. එම ප්‍රකාශවලට පටහැනිව යමින් ප්‍රථම වතාවට මෙසේ තමන් කිසි දිනක මාධ්‍යවේදියා දැක හෝ කතාබහ කර නැති බව ඊයේ ප්‍රකාශ කළේය. 2010 ජනවාරි 25 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී මාධ්‍යවේදියා අතුරුදන් කිරීම ඇතුළු චෝදනා සනාථ කිරීමට පැමිණිල්ල මඟින් මේ සාක්ෂිකරු ඉදිරිපත් කර තිබිණි. මේ නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටින ගිරිතලේ යුද හමුදා කඳවුරේ බුද්ධි නිලධාරීන් වන සම්මි කුමාර ගුණරත්න, ඩබ්ලිව්.ඩී. උපසේන, ආර්.එම්. රාජපක්ෂ, රවීන්ද්‍ර රූපසේන, චමින්ද කුමාර, කණිෂ්ක ගුණරත්න, අයියසාමි බාලසුබ්‍රමනියම්, තරංග ප්‍රසාද් ගමගේ හා ටී.ආර්. පීරිස් යන අය අධිකරණය ඉදිරියේ පෙනී සිටියහ.

කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල සාක්ෂිකරුට අවවාද කරමින් ලබන 10 වැනි දින අධිකරණයේ නැවත සාක්ෂි දීමට පෙනී සිටින ලෙසට නියෝග කර සිටියේය. අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් සාක්ෂිකරුවන් දෙදෙනකුට ද සිතාසි නිකුත් කළේය.

More articles

Latest article